ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම යළි කැඳවීමට දින දෙයි

දෙසැ 05, 2024
    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

    ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා තමන්ට තව දුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
    ඒ අනුව නඩුව යළි මේ මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙස පාර්ෂවකරුවන්ට නියෝග කළා.
    පෙත්සම්කරවන් කියා සිටින්නේ අදාල කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවයි.
    එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News