රග්බි සම්මේලනයේ පෙත්සමක් සමථයට පත්වෙයි

දෙසැ 05, 2024
    ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණා.

    බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් රොෂාන් ඩීන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

    මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ වි්නිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
    පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා තීරණය කර ඇති බව සඳහන් කළා.
    ඒ සඳහා රග්බි ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ඇතුළු තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා.
    එම කමිටුව විසින් නිලවරණයේ ඡන්ද හිමියන්ගේ නාමලේඛනය අනුමත කිරීමට නියමිත අතර ඉන් පසුව නිලධාරින් තෝරා ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.
    එම නිලධාරින් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් විසින් රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකියාව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
    එම කොන්දේසි වලට දෙපාර්ශ්වය එකඟතාවය පළකිරීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත් කිරීමටද නියෝග කෙරුණා.

    Latest News