සිරියාවේ “ඩමස්කස්” අගනුවර අත්පත් කර ගනිමින් එරට නිදහස් දේශයක් බවට පත් කරන බව සිරියානු කැරලිකරුවන් පවසනවා.
එරට රජයේ නිලධාරින් දෙදෙනෙකුගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, සිරියානු ජනාධිපති “බෂාර් අල් අසාද්” එරටින් පිටව ගොස් ඇති බවයි.
සිරියාවේ “ඩමස්කස්” අගනුවර, එරට රජයේ හමුදා හා කැරලිකරුවන් අතර දරුණු සටන් පැවති බව වාර්තා වනවා. මේ වනවිට රජයේ හමුදා අගනුවරින් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව “ඩමස්කස්” අගනුවර අත්පත් කර ගත් බව කැරලිකරුවන් නිවේදනය කරනවා.
“හෝම්ස්” නගරය අත්පත් කර ගැනීමෙන් පසු කැරලි කරුවන්ගේ මූලික ඉලක්කය වූයේ “ඩමස්කස්” අගනුවර අත්පත් කර ගැනීමයි.
“එච්.ටී. එස්.” නොහොත් ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ප්රමුඛ සිරියානු කැරලි කරුවන් ප්‍රකාශ කරන්නේ, එරට ජනාධිපතිවරයාගේ පලායාමත් සමග අඳුරු යුගය නිමා කරමින් සිරියාව නව යුගයක ආරම්භයට පැමිණ ඇති බවයි.