එම නිෂ්පාදනවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් ප්‍රථම වරට එළිදැක්වීම, විශේෂත්වයක්. මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික නිෂ්පාදනයන්ට ද ඉහළ ආකර්ෂණයක් හිමිව තිබේ. මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා ව්‍යාපාර 18ක් එක්ව සිටීම කැපීපෙනේ.
කුළුබඩු,තේ,පොල් නිෂ්පාදන,ආහාර වර්ග සහ මැණික් ආදී විශේෂ ශ්‍රී ලාංකික නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර චීනයේ එම නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉන් අවස්ථාව උදාවනු ඇති.
චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලොව විශාලතම මිලදී ගැනීම හා සැපයුම් වේදිකාවක් බවට පත්ව ඇති බව ඊට එක්ව සිටින ගෝලීය ව්‍යවසායකයෝ පෙන්වා දෙති. මෙය ලොව පුරා ආයෝජකයන්ට මෙන්ම ව්‍යවසායකයන්ට චීන වෙළෙඳපොළට පිවිසීම සඳහා සැකසෙන මහඟු අවස්ථාවක් ද වෙයි.
බිලියන 1.4ක ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනය සතුව ඇත්තේ ලොව කිසිඳු ව්‍යවසායකට නොසළකා හැරිය නොහැකි දැවැන්ත වෙළෙඳපොළකි. චීන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් නව තාක්ෂණික නිෂ්පාදිත සඳහා ද ඉහළ වෙළෙඳපොළක් එයින් නිර්මාණය වී තිබේ.
ශැංහයි නගරයේ ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී නොවැම්බර් 5 වැනිදා ඇරඹුණු සිව්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නොවැම්බර් 10 වැනිදා අවසන් වෙයි. රටවල් 58ක් හා ජාත්‍යන්තර සංවිධාන 3ක් ජාතික ප්‍රදර්ශනයට එක්ව සිටින අතර රටවල් හා ප්‍රදේශ 127ක ව්‍යවසායකයෝ 3000කට අධික පිරිසක් ව්‍යාපාරික ප්‍රදර්ශනයට එක්ව සිටිති.
අරෝෂා සමරදිවාකර
රූපවාහිනී වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට)