මේ යටතේ හිම ඉසව්වල ප්‍රධාන තරග බිමක් වන චොංජියාකෝ (Zhangjiakou)තරග කලාපයේ සැපයුම් සේවා ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ. උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ 2022 පෙබරවාරි 04 වැනිදායි.
ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ස්ථාන වන, ජාතික ස්කී පැනීමේ මධ්‍යස්ථානය, ස්කී උද්‍යානය සහ ශීත ඔලිම්පික් ගම්මානය Zhangjiakou කලාපයේ පිහිටා ඇත. මේ වන විට එහි ඔලිම්පික් ව්‍යාපෘති 76ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමා වී තිබේ. පරීක්ෂණ තරග මාලාවක් සහ ජාත්‍යන්තර පුහුණු සතිය මේ මස අගභාගයේ සිට මෙම කලාපයේ දී පැවැත්වීමට නියමිතයි.
ක්‍රීඩා උළෙල අතරතුර Zhangjiakou කලාපයේ සමස්ත තරග බිම් සඳහා 100%ක පූර්ණ හරිත බල සැපයුමක් ලබාදෙනු ඇත. වසංගත වැළැක්වීම හා පාලනය සම්බන්ධීකරණය සඳහාද පරිපූර්ණ සැළැස්මක් සකස් කර තිබේ.
මේ යටතේ, ක්‍රීඩකයන් සඳහා සංවෘත ජෛව බුබුළු ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ සුවපහසු පැවැත්ම සඳහා බැංකු, තැපැල්, වියළි පවිත්‍රකරණ සේවා සහ අධිපහසුකම් සහිත වෙළෙඳසැල් වැනි පාරිභෝගික සේවා රැසක් Zhangjiakou ශීත ඔලිම්පික් ගම්මානයේ ස්ථාපනය කෙරේ.
මේ අතර බෙයිජිංහි ඉදිකර ඇති ඇතැම් තරග පරිශ්‍ර පසුගියදා හිමෙන් වැසී ගොස් තිබිණ. මෙවර බෙයිජිං නගරයට මුල් හිම පතනය සිදුවූයේ වෙනත් වසරවලට වඩා කලිනි. හිම ඉවත්කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවූ බව බලධාරීහු කියා සිටිති. කෙසේ වෙතත්, මෙය ලොවපුරා ක්‍රීඩකයන්ට කල්තියාම සිදු කෙරුණු ඇරයුමක් බඳුය.
අරෝෂා සමරදිවාකර
රූපවාහිනී වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට)