කොප්පරා, බඩ ඉරිඟු (ඉරිඟු), රටකජු, කපු බීජ වැනි කෘෂිකාර්මික භෝගවල දක්නට ලැබෙන මෙම දිලීර ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ප්රදේශවල බහුලව වාර්තාවේ.
ඇෆ්ලාටොක්සින් නිපදවන දිලීර වගා භූමියේ දී මෙන්ම අස්වැන්න හා ගබඩා කිරීමේදී ද බෝග මත ඇතිවේ.
මිනිසුන් ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය වන්නේ කෙසේද?
මෙම දිලීර ආසාදිත ශාකවල බෝග (රටකජු වැනි) ආහාරයට ගැනීමෙන් හෝ දිලීර ආසාදිත ආහාර අනුභව කළ සතුන්ගෙන් මස් හෝ කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් මිනිසුන් ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය විය හැකිය. තවද මෙවැනි දූෂිත භෝග හා ආහාර පරිහරණය කිරීමේදී හා සැකසීමේදී ජනනය වන දූවිලි ආශ්වාස කිරීමෙන් ගොවීන් සහ අනෙකුත් කෘෂිකාර්මික සේවකයින් ද මෙම ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය විය හැකිය.
ඇෆ්ලාටොක්සින්වලට නිරාවරණය වීම නිසා ඇතිවන ගැටලු මොනවා ද?
ඇෆ්ලාටොක්සින්වලට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන් ඉතා දරුණු රෝගාබාද රැසක් ඇතිවීමේ අවදානම වැඩි කරන බව සොයා ගෙන ඇත. එසේම ඇෆ්ලාටොක්සින් සියලුම ඉන්ද්රියයන්ට බලපායි. විශේෂයෙන් අක්මාව සහ වකුගඩුවලට පිළිකා ඇතිකරන අතර වෙනත් වර්ගවල පිළිකා සමඟ ද මෙය සම්බන්ධ වන බව සොයා ගෙන තිබේ.
තවද දත්ත තවම තහවුරු කර නොතිබුණ ද දරුවන්ගේ උපත් ආබාධ වැඩි කිරීමට ද ඉඩ ඇති බව වාර්තාවේ. එසේම දරුවන්ගේ වර්ධනය අඩාල වීමට ද දායකවිය හැකිය.
විශේෂයෙන්ම ඇෆ්ලාටොක්සින් ප්රතිශක්තිය අඩු කිරීමට හේතු වන අතර එම නිසා බෝවන රෝග කෙරෙහි දක්වන ප්රතිරෝධය අඩු විය හැකිය. උදාහරණ ලෙස ක්ෂය රෝගය වැනි රෝග වැළඳීමේ හැකියාව වැඩ කරයි.
ඇෆ්ලාටොක්සින් නිරාවරණය අඩු කරන්නේ කෙසේද?
තත්වය සහතික කළ ප්රධාන වාණිජ වෙළඳ නාම සහිත භාණ්ඩ මිල දී ගැනීමෙන් හා පුස් බැඳුනු හෝ පරණ වූ ආහාර පරිභෝජනයට නොගැනීමෙන් ඇෆ්ලාටොක්සින් නිරාවරණය අඩු කර ගත හැකිය.
අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල ආහාර ඇෆ්ලාටොක්සින් අඩංගු දැයි නිරන්තර පරීක්ෂාවට ලක් කරයි. නමුත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල මෙහි බලපෑම් දක්නට ලැබෙන බව අමෙරිකානු ජාතික පිළිකා ආයතනය සඳහන් කරයි.