ළමා අපචාරයකට වරදකරු වූ විත්තිකරුවකුට වසර 30 ක සිරදඬුවම්

ජන 13, 2020

    බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය. කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි ව්‍යාපාරිකයෙකුට මෙසේ දඬුවම් නියම විය.
    සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 30000/- ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අතවරයට පත් දරුවාට රුපියල් ලක්ෂ 6 ක වන්දියක් ගෙවන ලෙස ද විත්තිකරුට නියම කළේය. එම වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූවොත්  විත්තිකරුට අමතරව බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ.
    2013 වසරේ නොවැම්බර් මස 21 වනදා සහ 2014 වසරේ නොවැම්බර් මස 22 වැනිදා දක්වා කාලසීමාව තුළ කිරුළපනදී වයස අවුරුදු 16 කට අඩු පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණා.
    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා තුන සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
    ඒ අනුව විනිසුරුවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබීය.
    Last modified on සදුදා, 13 ජනවාරි 2020 13:03

    Latest News