නාවලකන්ද වනාන්තර පද්ධතිය වල්ලපට්ට ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට

ජන 14, 2020

    ඉහල වටිනාකමකින් යුත් නාවලකන්ද වනාන්තර පද්ධතිය දැඩි තර්ජනයට ලක්ව විනාශ වෙමින් පවතින බව වාර්තාවේ.

    විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතියටම වසංගතයක් වූ වල්ලපට්ටා ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මෙම වනාන්තර කොටසද නතු වී විශාල විනාශයක් සිදුවී තිබේ. වල්ලපට්ටා ලබා ගැනීම සඳහා මේ වන විටත් විශාල ගස් ප්‍රමාණයක් කපා බිම හෙලා දමා ඇත. සූක්ෂම අයුරින් වනාන්තරය තුළට ඇතුලු වී කියත් වැනි ආයුධ භාවිතයෙන් ගස් කපා දමා කැබලිකරමින් තැනිත් තැන ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබේ. වනය තුල වාඩියක් තනා එය තුලට වී ආහාර පවා සකස්කර කරගනිමින් කලක පටන් මෙම ජවාරමේ නිරත වී ඇති අයුරු දැක ගත හැකිය.

    කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් 849 – D ග්‍රාමසේවා වසම තුල පිහිටා ඇති නාවලකන්ද වනාන්තර පද්ධතිය ඉහල ජෛව විවිධත්වයක් සහිත සදාහරිත වැසි වනාන්තර ලක්ෂණවලින් සමන්විත වූ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තර කිහිපයක එකතුවකි.

    වල්ලපට්ට කපා සකස්කිරීමට යොදා ගෙන ඇති වාඩිය

    wallapatta_00.jpg

    ගස් කැපීමට යොදා ගෙන ඇතැයි සිතිය හැකි කියතක්

    wallapatta_02.jpg

     

    පාරිසරික අධ්‍යයනයන් සහ පර්යේෂණයන් කිසිවක් සිදුනොවුනු මෙම වටිනා වනාන්තර පද්ධතිය විවිධාකාර හේතූන් නිසා කලක පටන් විනාශයට පත්වෙමින් පවතී. මෙම වනාන්තර පද්ධතිය සතු ජම්බුගහහේන් කන්ද රක්ෂිත කොටස දැඩි බෑවුම් සහිත උස් කඳු මුදුනක පිහිටි වනාන්තරයක් වන අතර ඉහල ජෛව විවිධත්වයක්ද මෙහි දැකිය හැකිය. මෙම වනාන්තරය මගින් ජම්බුගහහේන් කන්ද ස්ථායිලෙස පවත්වා ගනිමින් නායයාම් ආදියෙන් ආරක්ෂා කරන නිසා කන්ද පාමුල පිහිටි ජනාවාසයන්ට විශේෂ ආරක්ෂාවක්ද ලැබී තිබේ.

    මෙම වනාන්තරය තුළ වල්ලපට්ට ගස්වලට අමතරව තවත් ශාක විශේෂ රැසක් කපා දමා ඇති අතර ඒ නිසාවෙන් අලුතෙන් ජීවය ලබන කුඩා ශාකයන්ද විනාශ වී ඇති අතර වන සතුන්ගේ වාසස්ථාන පවා අහිමි වී ඇත. සර්ප විශේෂ , කුරුළු විශේෂ, ක්ෂීරපායින් විශේෂ සහ සමනලුන් වැනි කෘමි විශේෂ රාශියක් වෙසෙන මෙම පරිසර පද්ධතිය වැනසීම නිසාවෙන් ඔවුන්ටද විශාල බලපෑමක් එල්ල වී ඇත. මේ නිසා මෙහි වාසය කල සතුන් ගම්මානය කරා පැමිණෙන අතර ඒ හේතුවෙන් වන ජීවීන්ගේ ජීවිතවලට ද තර්ජන එල්ලවී තිබේ. වනසතුන්ට වාසස්ථාන සහ ආහාර අවම වීමෙන් වන සතුන් ගම් වැදී මිනිසුන් සමඟ ගැටුම් ඇති වීමද සිදු වේ.

    ඉහල වටිනාකමක් ඇති මෙම ප්‍ර‍දේශය දිගින් දිගටම මෙලෙස ජාවාරම්කරුවන්ගේ ග්‍රහනයට නතුවී ගස්වැල් කපා දැමීම නිසාවෙන් රක්ෂිත කඳුමුදුනේ ස්ථායිභාවය බිඳ වැටී නායයෑම් සිදුවී කඳු පාමුල වෙසෙන ගම්වාසීනගේ ජීවීතවලට පවා හානි සිදුවීමේ අවධානමක් මතුව පවතී. අදාල නිලධාරීන් මේ දැවැන්ත විනාශය පිළිබඳව සොයා බලා රක්ෂිතය විනාශකල අයවලුන්ට නීතීය ක්‍රියාත්මක කොට මෙම රක්ෂිත කලාප රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු කාලය එලඹ තිබේ.

    wallapatta_01.jpg

    wallapatta_03.jpg

    wallapatta_04.jpg

     

     

      

     

    Latest News