සෑම රජයකින්ම ලොග්ගල්ලා ඔයට පාලමක් ඉල්ලු මීගහකිවුල හා රිදීමාලියද්දේ ජනතාවගේ මැසිවිල්ල

ජන 15, 2020

    ලොග්ගල්ලා ඔයේ දැවටගොල්ල තොටුපොළ හරහා පාලමක් නොමැතිකමින් මීගහකිවුල හා රිදීමාලියද්දේ ගම්මාන රැසක ජනතාව මහත් අසීරුතාවකට පත්ව තිබෙන බව වාර්තාවේ.

    මේ නිසා මීගහකිවුල හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් දැවටගොල්ල, උඳුගොඩ, බලගොල්ල ඇතුළු ගම්මාන රැසක පාසැල් දරුවන් ඇතුලු පවුල් දහසකට පමණ ලොග්ගල්ලා ඔයේ කරවටක් ගිලෙමින් හෝ අබලන් පාරුවක නැගී මරුවා පෙනි පෙනී එහා මෙහා යාමට සිදුව ඇතැයි ජනතාව පවසති.

    තොටුපළ හරහා පාලමක් ඉදිකර දෙන ලෙස බලයට පත්වූ සෑම රජයකින්ම ඉල්ලීම් කළ ද මේ වන තුරුත් එය ඉටු නොවීම හේතුවෙන් තමන්ට මේ අයුරින් අනාරක්ෂිත ලෙස මෙම තොටුපොළ හරහා එහා මෙහා යාමට සිදුව ඇතැයි පාලමක් නැතිකමින් අසරණ වූ ජනතාව වැඩිදුරටත් පවසති.

    මීගහකිවුල සහ රිදීමමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් බලගොල්ල, දැවටගොල්ල, මැදයාය, උඳුගොඩ, පල්ලෙඅරාව, කුරුවිතැන්න, වීරගොල්ල ආදී ගම්මාන එකිනෙක වෙන්වන්නේ මෙම ගම්මාන අතරින් ගලා බසින ලොග්ගල්ලා ඔයෙනි. ලොග්ගල්ලා ඔය හරහා පාලමක් නොමැති අතර මෙම ගම්වාසීන් ඔය හරහා එහා මෙහා ගමන් ගන්නේ දැවටගොල්ල තොටුපොළ හරහා ඉණ වටක් දියේ ගිලෙමිනි.

    විශේෂයෙන්ම රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි උඳුගොඩ මැදයාය, දැවටගොල්ල ආදී ගම්මානවල දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා එම ප්‍රදේශය තුළ පාසලක් නොමැති අතර ඔවුන් සිය අධ්‍යාපන කටයුතු සඳහා පැමිනෙන්නේ ලොග්ගල්ලා ඔයට මෙපිටින් පිහිටි මීගහකිවුල හා බලගොල්ල විද්‍යාලවලටයි.

    ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම අඩු අවස්ථාවලදී ඔවුන් ඔයේ ඉණ වටක් ගිලී මෙගොඩ පැමින පාසල් යන අතර ඔයේ ජලය වැඩි අවස්ථාවන්හිදී අබලන් පාරුවක නැගී මෙගොඩට පැමිනෙන බව ඔවුහු පවසති.
    ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩ දැමීම සඳහා සකසාගත් අබලන් පාරුවකින් ඔවුන් මෙලෙස එහා මෙහා ගමන් ගන්නා අතර පාරුවට යොදා ඇති හුලං පිරවූ ටියුබ් අබලන් වූ විට පාරුව භාවිතා කළ නොහැකි බවද ඔවුහු සඳහන් කරති.

    කීප අවස්ථාවකදීම පාරුව පෙරළී යාම හා ගසාගෙන යාම හේතුවෙන් මේ වන විටත් සැළකිය යුතු පිරිසක් ඔයේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වූ බව ද ගම්වාසීන් ප්‍රකාශ කරති. එසේම පාරුව නොමැති අවස්ථාවලදී එක් අයකු පිනා ගොස් අනිත් ගොඩේ පිහිටි පාරුව මෙගොඩට ඇදගෙන ඒමට සිදු වන බවද ඔවුන් අත්විඳින තවත් දුෂ්කරතාවකි.

    මෙම තත්ත්වය මත පාසල් යන දරුවන්ට ඇඳුම් දෙකක් රැගෙන තම දෙමාපියන් ද සමග පාසැල් යාමට සිදුවන අතර පාසල අවසන් වන විට ද දෙමව්පියන්ට ඔය ඉවුරට වී බලා සිටීමට සිදුව තිබේ.

    එමෙන්ම මේ තත්ත්වය මත ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන නගරය වෙත රැගෙන ඒම ද සෙසු භාණ්ඩ ප්‍රවාහනය ද අඩාල වී ඇතැයි ගම්වාසීහු පවසති. මෙම ස්ථානය හරහා ගමන් නොකර විකල්ප මාර්ගයක් භාවිතා කරන්නේ නම් තමුන්ට අමතර කිලෝ කිලෝමීටර් 10 ක පමණ දුරක් යාමට සිදුවන බව ද ගම්වාසීන් වැඩිදුරටත් පවසති.

    අධික වර්ෂා සමයන්හිදී දරුවන්ගේ පාසල් ගමනට තිත තැබෙන අතර සෙසු අවශ්‍යතා සපුරා ගැනීම ද ඔයේ ජල මට්ටම අඩුවන තුරු සීමා කිරීමට තමුන්ට සිදුවන බව මෙම ගම්මු කියා සිටිති.

    මෙම ස්ථානයට පාලමක් සකස් කර දෙන ලෙස වගකිව යුතු බොහෝ පිරිසකට ඉල්ලීම් සිය ගණනක් ඉදිරිපත්කලද මේ වන තුරුත් එය ඉටු නොවීම ඔවුන්ගේ දැඩි චෝදනාවකි.

    මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු විසින් මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතාගෙන්ද විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ...

    “මීගහකිවුල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවන් කියන්නේ දුප්පත් ප්‍රාදේශීය සභා දෙකක්. අපේ එක සභාවකටවත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් කරන්නට වත්කමක් නැහැ. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් පහුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී බැසිල් රාජපක්ෂ මහතා වෙත කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ පාලමක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරා. නමුත් ආණ්ඩු පෙරළියත් සමග එය වෙනස් වුණා. ඉන්පසුව යහපාලනය රජයටත් යෝජනා ඉදිරිපත් කළත් ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වූවේ නැහැ. වත්මන් රජයට යෝජනාවක් ඉදිරිපත් කර මෙම ස්ථානය හරහා පාරලමක් ඉදිකර දීමට ඉදිරියේදී ගත හැකි සියලූ උත්සාහයන් ගන්නවා” බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 11:32

    Latest News