තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් 250,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවට නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුට විදේශ ගතවීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් මෙම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස ද නියෝග කළේය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියේ අධ්යක්ෂවරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු වලට කොන්දේසියක් පනවනු ලැබීය.
මෙම නියෝගය පිටපතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් සැකපිට ඉකුත් ජූලි මස 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කරනු ලැබීය.
ඉන් අනතුරුව ඔවුන් ඉකුත් ජුලි මස 9 වැනිදා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කර තිබිණ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ එම ඇප නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බල රහිත කරන මෙන් ඉල්ලා ඉන්පසුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුවක් ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව නීති විරෝධී බවට තීරණය කළේය. එම තීන්දුව ඉකුත් ඔක්තෝම්බර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් එදින යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.