මෙම ඇප ඉල්ලීම අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසමෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන මාර්තු මස 10 වැනිදාට පෙර ගොනුකරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය අප්‍රේල් මස දෙවැනිදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරුමඩුල්ල නියෝග කළේය.
ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ. එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 දායක දඩයක් නියම කර තිබිණ.