තඹුත්තේගම එළවළු ඉල්ලුම ලක්ෂ හත ඉක්මවමින්

මාර් 23, 2020

    ඇඳිරිනීතිය අවසන් වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳාම් කටයුතු ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. සාමාන්‍ය දිනක දී එළවළු කිලෝ පන් ලක්ෂයක් පමණ හුවමාරු වන තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එය ලක්ෂ හත ඉක්මවා ඇති බවයි, එහි පාලනාධිකාරිය පවසන්නේ.

    පවතින වතාවරණය හමුවේ වැඩි මිලට එළවළු අලෙවි කිරීම වැළැක්වීම සඳහා තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ පාලන අධිකාරිය මගින් විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඒ අනූව එළවළු සාමාන්‍ය මිල ගණන් යටතේ පැවති බවයි.

    රජයේ පාලන මිලට යටත් කර ඇති ලොකු ලූණු ආදී ආහාර ද්‍රව්‍ය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන අයුරු ද දැකගත හැකියි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නිෂ්පාදන සඳහා ස්ථාපනය කර ඇති මෙම ආර්ථික මධ්‍යස්ථානයේ අද වන විට හේන් වගා අස්වනු මෙන්ම උඩරට එළවළු ද තොග අලෙවිය සඳහා සූදානම් කර තිබිණ.

    ගොවීන් මෙන්ම වෙළඳුන් ද කඩිනමින් සිය කටයුතු නිමා කර ගැනීමට ක්‍රියා කළ ආකාරය දැකගත හැකි වූ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, මේ දිනවල පවතින තත්වය සැලකිල්ලට ගෙන ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන සෑම අයෙකුටම මුඛ ආවරණ පැළඳ ඇතුළුවීම අනිවාර්ය කර ඇති බවයි.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 11:51

    Latest News