මෙරට “කොවිඩ් 19“ රෝගීන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

අප්‍රේ 13, 2020

    මෙරට කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    අද තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 07ක්. කොවිඩ් 19 රෝගය වැළඳුණු බවට අද තහවුරු වූ පුද්ගලයින් සිව් දෙනාම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින්. ඔවුන් පසුගියදා බේරුවල ප්‍රදේශයෙන් තහවුරු වූ කොවිඩ් 19 රෝගයා සමීපව ආශ්‍රය කළ පුද්ගලයින්. මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 07ක්. මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 56ක්. රෝගය වැළඳී ඇති බවට තහවුරු කරගත් පුද්ගලයන් 154 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි.

    ඒ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලයි. රෝගීන් කිහිප දෙනෙකු ඉරණවිල රෝහලේ ද ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. තවදුරටත් මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, කොළඹ, කලුතර ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින්. රෝගීන් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 14ක්.

    පසුගියදා ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගියෙකු තහවුරුවීමත් සමඟ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා යොමු කෙරිණ. ඒ අනුව කාණ්ඩ 2ක් යටතේ පුද්ගලයින් 70 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලැබීය. අදත් තවත් පුද්ගලයින් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරිණ. ඒ නාච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත.

    අද වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 17ක පුද්ගලයින් 1, 506ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී. ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ මධ්‍යස්ථාන 14ක්, නාවික හමුදාව යටතේ මධ්‍යස්ථාන 03ක් ක්‍රියාත්මකයි. වැලිකන්ද, සිංහපුර, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිය නිරෝධායන කාලසීමාව නිමා කළ පුද්ගලයන් 15 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියේය. ඔවුන් ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්.

    පසුගිය 27 වැනිදා බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගියෙකු හඳුනා ගැනීමත් සමඟ එම ප්‍රදේශය සම්පූර්ණයෙන් හුදෙකලා ප්‍රදේශයක් බවට තාවකාලිකව පත් කරනු ලැබීය. එම පුද්ගලයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් 20 දෙනෙකු එම ප්‍රදේශයේම පිහිටි සර්වෝදය අධ්‍යාපන ආයතනයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරිණ. ඔවුන් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නැවත නිවෙස් වෙත පැමිණියේය. ඔවුන් තවත් දින 14ක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

    බේරුවල, පන්නිල ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පසුගියදා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ඔවුන් අතරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු විය. එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 14 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබාගෙන අද ඒවා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරිණ. ඒ, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන්.

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 20:00

    Latest News