පිටකොටුවේ රැඳී සිටි යාචකයන්, කම්කරුවන් 360 ක් සුරක්‍ෂිත ස්ථාන කරා (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • කොළඹ-පිටකොටුව, ගුණසිංහපුර බස්නැවතුම්පොළේ මාසයකට ආසන්න කාලයක් රැඳී සිටි යාචකයන්, කම්කරුවන් ඇතුළු 360 දෙනෙකු සුරක්‍ෂිත ස්ථාන කරා පිටත්කර හැරීමට අද පියවර ගැණින.

    ඔවුන් නාවා පිරිසිදු කොට සනීපාරක්‍ෂක පහසුකම් සලසා දීම මෙහි විශේෂත්වයක්. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් එය මෙහෙයවයි. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පසුගිය මාර්තු 21 වැනිදා කොළඹ නගරයේ සියළු යාචකයන් සහ ස්ථිර වාසස්ථාන නොමැති පුද්ගලයන් මෙම බස් නැවතුම්පොළේ ඒකරාශී වී තිබේ. පසුගිය දිනෙක එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයෙකුව හඳුනා ගැනීමත් සමඟ ඔහු මෙම සිඟමන් යදින්නන් ඇසුරු කර ඇති බව අනාවරණය කර ගැණින. මාසයකට ආසන්න කාලයක් බස් නැවතුම්පොළේ රැඳී සිටි මෙම පුද්ගලයන් සඳහා ආහාර පාන ඇතුළු පහසුකම් සලසා තිබුණේ ශ්‍රී ලංකා පොලිසිය විසින්.

    අද දින ඔවුන් විෂබීජානුහරණයට ලක් කොට නාවා, අලුත් ඇඳුම්, පැළඳුම් ආදිය ලබාදී සුරක්‍ෂිත ස්ථාන කරා පිටත්කර හැරීමට කටයුතු සංවිධාන කෙරිණ. බස්නැවතුම්පොළ සුරක්‍ෂිත ස්ථානයක් නොවන නිසා සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් ඇති ස්ථාන තුනක ඔවුන් රැඳවීමට තීරණය කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව, එම පිරිස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ද ලක් කරනු ලැබීය. අවශ්‍ය මුඛ ආවරණ හා වෙනත් පහසුකම් සපයා දීමෙන් අනතුරුව විශේෂ බස් රථ තුනක් මගින් ඔවුන් සුරක්‍ෂිත ස්ථාන කරා පිටත්කර හැරීමට කටයුතු කෙරිණ.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 20:11

    Latest News