ඇඳිරි නීතිය කඩ කරන්නන් නීිතියේ රැහැනට

අප්‍රේ 23, 2020

    ඇඳිරි නීතිය පිළිපදින්නැයි දැනුම් දුන්න ද, මේ දක්වා තිස් හය දහසකට අධික පිරිසක් එය නොසලකා හැර ක්‍රියා කර ඇතැයි පොලිසිය පවසයි.

    දිවයිනේ සිදු කෙරුණු මෙහෙයුම්වලදී, වාහන නව දහසකට අධික සංඛ්‍යාවක් පොලිස් බාරයට ගෙන තිබේ. මේ අතර, අධි අවදානම් කලාප හැර, අනෙක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අදත් අලුයම 5.00ට ඉවත් කෙරුණ.

    අධි අවදානම් කලාප හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා අලුයම 5.00 ට ඉවත්කර රාත්‍රී 8.00ය යළි පනවනු ලබයි. මෙම ක්‍රමවේදය හෙටින් අවසන්. ලබන 25,26 දෙදින එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරීමය පියවර ගෙන තිබේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මකයි.

    ඒ අනුව එම දිස්ත්‍රික්කවලට ඇතුළුවීම හා පිටවීම සම්පූර්ණයෙන් තහනම්. අද උදේ 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ 107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාහන 31ක් පොලිස් බාරයට ගැණින. අධි අවදානම් කලාප සහ අනෙක් සියලු ප්‍රදේශවල ඇඳිරි නීතිය කාල සීමාවේ එය උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඇඳිරි නීතිය කඩ කරමින් ගමන් ගත් යතුරු පැදිකරුවන් සියයකට අධික ප්‍රමාණයක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බොහෝ පිරිසක් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව ක්‍රියා කර ඇත. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

    ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශ කිහිපයක අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සංචාරය කළේය. ඔවුන් ප්‍රකාශ කළේ, බොහෝ පිරිසක් රජය ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් කටයුතු කළ ද ඇතැමෙකු එය තවමත් උල්ලංඝනය කරමින් සිටින බවයි. සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් උල්ලංඝනය කරන උපදෙස්වලට එරෙහිව කටයුතු කිරීමට නීිතිමය ප්‍රතිපාදන පවතින බව පොලිසිය අවධාරණය කරයි.

    සෞඛ්‍යාරක්‍ෂිත නොවන අයුරින් ආහාර පානාදිය අලෙවි කළ අවන්හලක් වසා දැමීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අද පියවර ගත්තේය. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රදේශයේ සියලුම වෙළෙඳසැල්වලට ආහාරපාන අලෙවි කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කර තිබූ බව සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් පවසයි.

    එසේම ජංගම වෙළෙඳුන් සඳහා රජය මගින් ලබාදුන් නීති පද්ධතිය අනුගතව කටයුතු කිරීම පිළිබඳ සොයා බැලීමට ගෝනපොල පොලිස් නිලධාරීන් අද පියවර ගත්තේය.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයින් සහ පිරිස් සෞඛ්‍යාරක්‍ෂිතව නොසිටීම හේතුවෙන්, අනාරක්‍ෂිත තත්වයට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි. සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානය තුළ පියවර රැසක් ගෙන තිබුණ ද, ඇතැම් පිරිස් එයමඟ හැර යනු දක්නට ලැබේ. ඔවුන් මුඛ ආවරණ නොපළඳින සියලු දෙනා ‍හෙට සිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ සංගමය පවසයි.

    ඇඳිරි නීතිය ඉවත් කළ හැටන් නගරයේ ජන ජිවිතය ද යථා තත්වයට පත්වෙමින් පවතී. ප්‍රදේශයේ කොණ්ඩා කපන සහ සකස් කරන ස්ථාන වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. එසේම, දෙදෙනෙකුට වඩා මගීන් රැගෙන යන ත්‍රීරෝද රථ සඳහා අද දින තරයේ අවවාද කෙරිණ. එසේම බස් රථවල මගීන් රැගෙන යාමට ලබා දී ඇති නිර්නායක කඩ කළ රියදුරන් සඳහා ද හැටන් පොලිසිය අවවාද කළේය.

    Latest News