ඇප ඇති සැකකරුවන් 45,000 කට ඇඳිරි නීතියෙන් පසු වැඩ වරදීද?

මැයි 03, 2020

    ඇඳිරි නීති සමයේ විවිධ ස්ථානවලදී නීති විරෝධී ලෙස හැසිරුනු බවට සැකපිට අත්අඩංගුවට ගත් 45,000ට අධික පිරිසකට සාමාන්‍ය අධිකරණ කටයුතු ආරම්භ වූ වහාම නඩු පැවරෙනු ඇති.

    ඇඳිරි නිති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ ඇතුළු සිව්දෙනෙක් අද (03) මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මින් පෙරාතුවද දඹුල්ල නගරාධිපතිවරයා ඇතුලු දේශපාලන බලය අනිසි ලෙස භාවිත කළ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඇඳිරි නීතිය පනවා ගෙවුණු දින 45ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙන් ගණන 45,115 කි.

    ඊට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,699කි.

    මෙම පුද්ගලයන්ට එරෙහිව 2005 වර්ෂයේ අංක 12 යන පනත මගින් සංශෝධිත 1897, අංක 03 “නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත’ යටතේ චෝදනා නගා නඩු පැවරීමට නියමිතය.

    බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නීතිගතකර පසුව සංශෝදිත මෙම ආඥා පනත යටතේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා වරදකරුවන් වුවහොත්, මාස 06 දක්වා සිරදඬුවම් හා රුපියල් 2000 දක්වා දඩ මුදල් පැනවීමේ හැකියාවක් ඇත.

    තවද මෙම ආඥා පනත යටතේ වරෙන්තුවක් නොමැතිව පොලිස් භාරයට ගෙන රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙන අතර ඉන්පසු අදාළ තැනැත්තා වහාම මහෙස්ත‍්‍රාත් අධිකරණයකට හෝ ප‍්‍රාථමික අධිකරණයකට ඉදිරිපත් කළ යුතුවේ.

    මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති 45,000ට අධික සැකකරුවන් මේ වනවිට ඇප පිට නිදහස්කර යවා ඇතත් වසංගත තත්වය අවසන්ව සාමාන්‍ය අධිකරණ කටයුතු ආරම්භවන මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඔවුන්ට එරෙහි නඩු කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

    මෙම පනතට අමතරව දණ්ඩ නීති සංග‍්‍රහයේ 14 වැනි වගන්තියට අනුව රෝගයක් පැතිරවීමෙන් සමාජයට අනතුරක් සිදුකරන්නකු ලෙස චෝදනා නගා මාස 06 දක්වා සිරදඬුවම් හා දඩයකට යටත් කළ හැක.

    එසේම දණ්ඩ නීති සංග‍්‍රහයේ 263 වගන්තිය යටතේ යමෙකු යම් රෝගයක් පැතිරෙන බව දනිමින් ද්වේශ සහගත ලෙස හැසිරේ නම් වසර 02 ක කාලයකට බන්ධනාගාරගත කිරීමෙන් සහ දඩයකින් දඬුවම් කළ හැකිය.

    Latest News