මෝටර් රථ දෙපාර්තමේන්තුව යළි සේවා අරඹයි

මැයි 16, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම්වලට යටත්ව 20 වැනි දින සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වූ අවදානම් සහගත තත්වය තුළ අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවා සැපයූම අත්හිටුවා තිබිණ.

    මේ අනූව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු මෙම දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන්ට සතියේ දින වල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා, මේ සමග ඇති ලේඛනයේ සඳහන් දුරකථන අංක අමතා කලින් දිනයක් හා වේලාවක් වේනර ගත යුතු වෙයි.

    ඉන් පරිබාහිරව කිසිඳු හේතුවක් මත සේවා සැපයීම සිදු නොකෙරේ. තවද අප විසින් මීට පෙර ක්‍රියාත්මක කළ එක් දින සේවාවන් ද නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවේ.

    ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ කාල සීමාවට අදාළව සහන කාල සීමාවක් ලබාදී ඇති බැවින් සේවාලාභී ඔබ විසින් අනවශ්‍ය කලබලකාරී තත්වයකින් තොරව රජය විසින් ලබා දී ඇති උපදෙස් තරයේ අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිතවත්, ඉවසීමෙන් හා වගකීම් සහගතවත් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දිනයක් වෙන්කර ගැනීමේ දී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික හැඳුනුම්පත් අංක පිළිවෙළ අනූව එම දිනය වෙන් කළ යුතු බව අවධාරණය කෙරේ. එමෙන්ම, මෙම දෙපාර්තමේන්තුව විසින් දිනයක් වෙන්කර තිබීම ඇඳිරි නීති අවස්ථාවේ ගමනාගමනය සඳහා දෙන ලද අවසර පත්‍රයක් සේ නොසැලකිය යුතුයි.

    Latest News