කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරියෙකු අද ප්‍රකාශ කළේ, සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම ගැන තොරතුරු 2018 අග භාගයේ දී හා 2019 මුල් කාලයේ දී පොලිස්පතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානීන් වෙත දැනුම් දුන් බවයි.
මාධ්‍යයට හඬ පමණක් ඇසීමට සලස්වමින් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද දින කොමිසමේ සාක්ෂි විමසීමේ පැවති විශේෂත්වයක්. මෙහිදී, කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, බෞද්ධ අන්තවාදය පිළිබඳ ලැබුණු හා ඊට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන සිටියේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් නිලධාරියා ප්‍රකාශ කළේ, ඉස්ලාම් අන්තවාදයටත් පෙර සිට බෞද්ධ අන්තවාදය පිළිබඳ තොරතුරු තිබූ බවත්, එහි ක්‍රියාකාරී සංවිධාන හා ක්‍රියාකාරීන් ද හඳුනාගෙන තිබූ බවයි. ඉස්ලාම් අන්තවාදය පිළිබඳ හෙළි වූ තොරතුරු මොනවාදැයි එවිට කොමිසම ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්, ජාතික තව්හිද් ජමාත් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාද් යන සංවිධාන පිළිබඳ තොරතුරු 2016 වසරේ මුල සිට හෙළිකර ගෙන තිබූ බවයි. ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ආරම්භයේ සිටම සිදු කළ විවිධ ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කළ බව ද, සාක්ෂිකරු ප්‍රකාශ කළේය. එම සංවිධානයේ අරමුණ වූයේ, අනුගාමිකයන් වෙනම මුස්ලිම් දේශයකට ගොස් ආගම වෙනුවෙන් දිවි පිදීමට නැඹුරු කිරීම බව ඔහු කියා සිටියේය. එම මුස්ලිම් දේශය වූයේ සිරියාවයි. එම කාර්ය සිදු කිරීමේ සංවිධානයේ නායකයා ලෙස අබුබකර් අල් බග්දාදි හඳුනාගෙන තිබූ බව ද සාක්ෂිකාර බුද්ධි අංශ නිලධාරියා කියා සිටියේය.
කොමිසම එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, එම ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය සබඳතා නිරීක්ෂණය කළේ ද යන්නයි. 2010 වසරේ සිට එම සංවිධානයට සම්බන්ධ පිරිසකගේ නම් ලැයිස්තුවක් සකස් කර තිබූ අතර, යම් යම් අවස්ථාවල ඔවුන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ බව ද ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේය. අදාළ නම් ලැයිස්තුව මෙරට බුද්ධි අංශවලට හෝ නීතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතනවලට ලබා දුන්නේ ද යන විමසීමට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවයට එම තොරතුරු ලබාදුන් බවත්, ඉහළ නිලධාරින් පමණක් එම තොරතුරු පරිහරණය කළ බවත්, සඳහන් කළේය. ජාතික තව්හිද් ජමාද් සංවිධානය අන්තවාදී සංවිධානයක් ලෙස කෙසේ හඳුනා ගත්තේ ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පෙන්වා දුන්නේ, එම සංවිධානය තවත් සංවිධානයක් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේ දී ගැටුමක් ඇතිකරගත් බවයි. ජාතික තව්හිද් ජමාද් සංවිධානය එවකට මෙහෙයවා තිබුණේ, සහරාන් නම් පුද්ගලයා බවත් එම තොරතුරු අනුව ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් හඳුනාගැනීම සිදු කළ බවත්, බුද්ධි අංශ නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කළේය. තව ද ඔහු පෙන්වා දුන්නේ සහරාන් හෂිම් නමැති පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ මත, අයි එස් අයි එස් සංවිධානයේ මතවාදයන්ට සමාන බවයි. සහරාන් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් ගැන ලද තොරතුරු වෙනත් බුද්ධි අංශවලට දැනුම් දුන්නේ ද යන්න කොමිසම විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කලේ, 2018 සහ 2019 වසරවල තම ප්‍රධානියා හරහා එවකට සිටි පොලිස්පතිවරයා ලිඛිතවම දැනුවත් කළ බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් 07 දෙනා පිළිබඳවම තොරතුරු ලැබී තිබුණේ ද යන්න සාක්ෂිකරුගෙන් කොමිසම විමසා සිටියේය. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ, ෂැංග්‍රිලා හෝටලයේ පළමු බෝම්බකරු වූ සහරාන් හෂිම් හා දෙවැනි බෝම්බකරු වූ ඉල්හාම්, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟුම්හලේ පුපුරුවා ගත් මොහොමඩ් ජමීල්, කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වූ හස්තූන් යන අය ගැන තොරතුරු ලැබී තිබූ බවයි.
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධිය පිළිබඳ කළ විමසීමට පිළිතුරු දුන් සන්නද්ධ බුද්ධි බලකායේ සාක්ෂිකරු ප්‍රකාශ කළේ ඊට සම්බන්ධ සාදික් අබ්දුල් හක් හා ෂාහිඩ් අබ්දුල් හක් සහෝදරයන් පිළිබඳව පාස්කු ප්‍රහාරයට පෙර සිටම තොරතුරු ලැබී තිබූ බවයි. කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීමේ සිද්ධිය අසාමාන්‍ය සිදුවීමක් වූ නිසා වනාතවිල්ලුව සිද්ධියට එහි සම්බන්ධයක් ඇති බවට සැක පළවූ බව සාක්ෂිකරු සඳහන් කළේය. එහිදී කොමිසම කළ විමසීමකට පිළිතුරු දෙමින් බුද්ධි බලකා නිලධාරියා කියා සිටියේ, විටින් විට සිය අධ්යක්ෂවරයා මගින් ලිඛිතව හා වාච්කව එවකට යුද හමුදාපතිවරුන් දැනුවත් කළ බවයි. ඔවුන් කවුරුන්ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කළේය. පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ, ක්‍රිෂාන්ත ද සිල්වා සහ මහේෂ් සේනානායක එවකට යුද හමුදාපතිවරුන් ලෙස ක්‍රියා කළ බවයි. ඔවුන් විටින් විට පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී ඉහළ බලධාරීන්ව මේ පිළිබඳ දැනුවත් කළ බව තමාට දැනගැනීමට ලැබුණු බව, සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරියා ප්‍රකාශ කළේය.