ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ගම්මිරිස් ඵලදාව මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරු ඉන්දියාවයි.
ඉන්දියාව මිලට ගැනීම් කරනුයේ සලාක ක්‍රමයකට අනුවය. ශ්‍රී ලංකාවට දී ඇති සලාකය වැඩි කර ගැනීම සැලැස්මේ ප්‍රධාන අංගයකි.
ඊට අමතරව දේශීය ගම්මිරිස් සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීමට පියවර ගැනේ. නිමි නිෂ්පාදන ලෙස ගම්මිරිස් අපනයනට ගොවීන් උනන්දු කරවනු ලැබේ. ඇසුරුම් ලෙස (පැකට්) ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශ්රිත නව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (19) රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට ගිය විට ජනතාව ගම්මිරිස් වගාකරුවන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කළහ.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා ගම්මිරිස් වගාවේ සංවර්ධනය පිළිබඳ නව සැලසුම් පැහැදිළි කළේය.
සබරගමුව සමන් දේවාලය ආශ්රිත නින්දගම් සහ පාරම්පරික ඉඩම් පිළිබඳව මතුව ඇති ගැටළු නිරාකරණය කර දෙන්නැයි ජනතාව කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.
බීජ නිෂ්පාදන පහසුකම් සහ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ලබාදෙන ලෙස ද ජනතාව ඉල්ලා සිටියහ. ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.
රිදීවිට - වෙළෙඳපොළ පාර කාපට් අතුරා සංවර්ධනය කර දෙන්නැයි තවත් ඉල්ලිමක් කෙරිණ. ඊට ප්‍රතිචාර පළ කළ ජනාධිපතිතුමා මාර්ග කි.මි ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ එය කඩිනමින් ඉටු කර දෙන බව ප්‍රකාශ කළේය.
වේලිඔය වැලිකැනීම පසුගිය රජය සමයේ පෞද්ගලික සමාගමක් වෙත පවරා දී තිබේ. බලපත්‍ර කොන්දේසි කඩකරමින් සීමාව ඉක්මවා වැලි ගොඩදැමීම් පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ වහා අධ්‍යයනයක් කරන ලෙස එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගොඩකවෙල ජනහමුව නිමවී ආපසු යන අතරතුර ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අසළදී එහි කාර්ය මණ්ඩලය සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය. ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා මුහුණ පා ඇති අඩු පාඩු මොනවාදැයි විමසිය.
ප්‍රදේශයට අඩුවක්ව ඇති ආදාහනාගාරයක් ඉදිකරදීමට සහ ක්‍රීඩාංගණය සංවර්ධන කිරීමට ක්‍රියාකරන බව ජනාධිපතිතුමා පැවසීය.
ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, කාංචන ජයරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ
ජනාධිපතිතුමාගේ රත්නපුර දිස්ත්‍රික්ක චාරිකාව ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයෙන් ඇරඹිණ.
අපේක්ෂක සනී රෝහණ කොඩිතුවක්කු මහතා සහ අපේක්ෂක මියුරු භාෂිත ලියනගේ මහතා අඹිලිපිටිය නව නගරයේ අනාගරික ධර්මපාල ළමා උද්යාමනය අසළදි සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා එක් විය.
ප්‍රදේශයේ පැතිර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ජනතාව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ. මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කොට ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.
එහි සාර්ථකත්වය සදහා ජනතාවගේ සහාය අත්යාරවශ්යය බව කී එතුමා ග්රාමීයව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිස් ගැන තොරතුරු වහා දන්වන්නැයි ඉල්ලීමක් කළේය.
මහවැලි ඉඩම් පිළිබඳ ගැටළු ද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි සමයේ ආරම්භ කළ ඇල්ලේවෙල වාරි ව්‍යාපෘතිය අතරමග නතර කොට තිබේ.
ව්‍යාපෘතිය නිම කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවගෙන් 70% කගේ පමණ පානීය සහ වගා ජල අවශ්‍යතා සම්පූර්ණ වනු ඇතැයි ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාට පෙන්වා දුන්හ.
මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන්කොට ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අනතුරුව ජනාධිපතිතුමා රක්වාන - ගොඩකවෙල බලවින්න මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද නැවත ජනතාව හමු විය. විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීමට අවධානය යොමු කළ එතුමා යුද හමුදාවේ දායකත්වයෙන් ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන බව පැවසීය.
අපේක්ෂිකා මුදිතා ප්‍රියන්ති සොයිසා මහත්මිය විසින් හමුව සංවිධාන කර තිබිණි.
බලංගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී අපේක්ෂක අකිල එල්ලාවල සහ ගාමිණි වලේගොඩ මහත්වරු සංවිධාන කර තිබූ ජන හමුවට ද සහභාගී වූ ජනාධිපතිතුමා ජනතාව සමග සුහද කථා බහක නිරත විය.