යෝජිත ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ජූලි 26, 2020

    අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින්, ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ අවශ්‍ය අවස්ථාවලදී ඇමරිකානු ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගැනීමේ තාවකාලික මූලාශ‍්‍රයක් වශයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ඉකුත්දා ගිවිසුමකට එළඹුනු බවයි.

    එය විදේශීය සහ අන්තර්ජාතික මූල්‍ය අධිකාරීන් සඳහා වූ එක්දින ප‍්‍රතිමිලදී ගැනුම් පහසුකමක් වශයෙනි.

    ලොවපුරා බොහෝ මහ බැංකු සිය කෙටිකාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක‍්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කරන බව, ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    දීර්ඝ කාලීන විදේශීය විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව, අවශ්‍ය අවස්ථාවන්හි දී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මෙම පහසුකම මගින් මහ බැංකුවට ඉඩ සැලසේ.

    Latest News