ජනපතිගෙන් වෙල්ලස්සේ උරුමය රකින වැඩපිළිවෙළක්

අගෝ 01, 2020

    පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරා විද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

    සියලු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කිරීමට ඊයේ (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පොළ අසළ පැවති ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය. අපේක්ෂක විමලදාස ගල්ගමඅරච්චි මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ.

    ඓතිහාසික වටිනාකමින් යුත් වෙහෙර විහාර නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. වෙල්ලස්සේ පෞරාණික වටිනාකම ඉස්මතු වන ලෙස සංචාරක කර්මාන්තයට විවෘත කිරීමේ ඇති හැකියාව ද පෙන්වා දෙනු ලැබිණ.

    බුදුරුවගල සහ බතලආර වැව ඇතුළු වැව් ප්‍රතිසංස්කරණයෙන් කෘෂිකර්මාන්තයේ දියුණුවට විශාල දායකත්වයක් දිය හැකි බව ද ඔවුහු පැවසූහ. ඓතිහාසික උරුමය සුරකින ජනාධිපති කාර්ය සාධක බලකායක් ඌව වෙල්ලස්සටත් දෙන ලෙස අපේක්ෂක පද්ම උදයශාන්ත මහතා බුත්තල සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේය.

    මොණරාගල ආයෝජන කලාපයක් ස්ථාපනයට ජනාධිපතිතුමා ගත් තීරණයට ජනතාව ප්‍රසාදය පළ කළහ.

    වට්ටක්කා සහ කොමඩු ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමටත්, ගම්මිරිස් හා දොඩම් වගාව ප්‍රවර්ධනයටත් පියවර ගන්නා බව එතුමා පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතා පද්ම උදයශාන්ත මහතාගේ ඉල්ලීම පරිදි බුත්තල යපස් නිධිය පිළිබඳව කළ පර්යේෂණ වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

    උදයශාන්ත මහතා විසින් රචිත “වේල්ලස්සේ සිහල හඬ” සහ “අතීත උරුමයේ අනාගත ම්‍රදාව” ග්‍රන්ථ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ තරුණ සංසදය සකස් කළ අලි මිනිස් ගැටුමට විසඳුම් සහිත වාර්තාවක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    වෙල්ලස්සට ආවේණික බීජ වර්ග 36ක එකතුවක් ද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණ.

    අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ අපේක්ෂිකා සුමේධා ජී. ජයසේන මහත්මිය එක්ව මොණරාගල සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද පිළිසඳරක නිරත විය.

    ප්‍රති අපනයනයෙන් බිඳ වැටුණු ගම්මිරිස් වෙළෙඳාම නගා සිටුවීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ගම්මිරිස් වෙළෙඳුන් මුහුණ දී සිටින ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා පැවසීය.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු සැලසුම් ඉටු කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    අපේක්ෂක කුමාරසිරි රත්නායක මහතා දොඹගහවෙල සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස කුඹුක්කන් ඔය ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන බව පැවසීය.

    අපේක්ෂිකා ශෂි රාමනායක මහත්මිය මඩුල්ල සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

    ප්‍රදේශයේ පානීය සහ වගා ජල ගැටළුවට විසඳුම් දීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් කීය.

    දුරකථන සංඥා දුර්වලතා පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මඩුලුමිනි ප්‍රාථමික විද්‍යාලයට රැස්වීම් ශාලාවක් දෙන ලෙස කළ ඉල්ලීම ඉටුකරදිමට ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එකඟ විය.

    එල්.ඒ. කීර්තිපාල මහතා තමා නිර්මාණය කළ වෙල්ලස්සේ පාරම්පරික අසිපතක ආකෘතියක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමාගෙන් ක්‍රීඩාපිටිය සංවර්ධනය කර දෙන ලෙස සිසුන් පිරිසක් කළ ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන ලෙස යුද හමුදාපතිවරයාට දැනුම් දෙන ලදී.

    නෙළුම්වැවේ කණ්ඩිය මාර්ගය පුළුල් කර දීමටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහලේ සුළු සේවක පුරප්පාඩු පියවීමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා පැවසීය.

    අපේක්ෂක විජිත බේරුගොඩ මහතා බිබිල, සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ අඩු පාඩු ගැන ජනතාවගෙන් විමසීය.

    හමුවට එක්ව සිටි ආදිවාසීහු පිරිසක් ඉඩම් ඔප්පු නොලැබීමේ ප්‍රශ්නය සහ දෛනික කටයුතු කරගෙන යාමේදී මතුව ඇති නීතිමය ගැටළු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 12:48

    Latest News