පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම්

අගෝ 02, 2020

    දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටිනපානීය ජල ගැටළුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා  රට පුරා කළ චාරිකාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් වූයේ පානීය ජල අවශ්‍යතාවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. ඒ අනුව ප්‍රමුඛ අවශ්‍යතාවක් සේ සලකා පානීය ජල ගැටළුව විසඳීමට සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා ජන හමුවකදී මේ බව සඳහන් කළේය.

    අපේක්ෂක රෝහිත තිලකරත්න මහතා බණ්ඩාරවෙල, දෝව රජමහා විහාරය අසළ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා බව පැවසීය.

    උදිත ලොකුබණ්ඩාර මහතා හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල සේනානායක උද්‍යානය අසළ සංවිධාන කළ ජන හමුවට එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයේ 03 වසරේ ඉගෙනුම ලබන දිදුළි ලෙසන්යා දියණිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. 

    බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇසළ ගජනායක ශිෂ්‍යා නිර්මාණය කළ ස්වයංක්‍රීයව විෂබීජ නාශක දියර නිකුත් කෙරෙන යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

    ඩී.එම් උපතිස්ස මහතා තමාම නිර්මාණය කළ සිහිවටනයක්  ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතා පස්සර නමුණුකුළ හන්දියේ සහ අපේකෂක චාමර සම්පත් දසනායක මහතා පස්සර පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 10:08

    Latest News