ඉතිහාසයේ වැඩිම මනාප ලබාගැනීම සඳහා කැපවූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළු දෙනාට ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.
පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන් ලක්ෂ 27,364ක් ලබාදෙමින් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තමා පිලිබඳ විශ්වාසය තැබූ ආදරණීය කුරුණෑගල ජනතාව ප්‍රථමයෙන් කෘතවේදීව සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
තමා වෙත ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයින්ටත්, රැස්වීම් සංවිධාන කළ හා ප්රචාරක කටයුතු කළ සියලු සංවිධායකවරුන්ටත්, දිවා රෑ වෙහෙසුණු ආධාරකරුවන්ටත්, සංවිධාන කටයුතු කළ සියළු දෙනාටත්, ස්තූතිය පළ කරන බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය, පනස් වසරක දේශපාලන ජිවිතයේ තමන් ඉදිරිපත් වූ 9 වැනි මැතිවරණයයි. ඓතිහාසික රාජධානි 04කට උරුමකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ තම දේශපාලන ජිවිතයේ අභියෝගාත්මක හා තඉතා අසීරු යුගයකදී බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමා කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය මෙවර මැතිවරණයේදී වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරන බව ඔහු සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න තවත් මැතිවරණයක දේශපාලන පොරොන්දු බවට පත්වීමට ඉඩ නොතබා විසඳීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ තමන් ඇතුළු රජය ඉදිරියේ පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
තමාට බහුතර මනාප සංඛ්‍යාවක් ලබාදුන් කුරුණෑගල ජනතාව පමණක් නොව ලංකාවේ සියලු ජනතාව අපේක්ෂා කළා වූ සමෘද්ධිමත් හා සාමකාමී රටක් බිහිකිරීමේ වගකීම අප ඉදිරියේ පවතී. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් රට සංවර්ධනයටත්, සුරක්ෂිත කිරීමටත් වගකීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
සාමුහික සංවර්ධන ක්‍රියාදාමය මෙතැන් සිට ඇරඹෙනු ඇත. ඊට පක්ෂ, පාට භේද පසෙකලා සියළු ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය අපේක්ෂා කරන අතර, මේ එළැඹ ඇත්තේ වැඩකරන කාලයක් බව අග්‍රාමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.