දේශපාලන පළිගැනීම් කමිටුවේ වාර්තාව අගමැතිට

සැප් 02, 2020

    2015 සිට 2019 දක්වා වූ කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අද බාරදෙනු ලැබීය.

    එම කාලසීමාව තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 6952 ක් කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබේ.

    ඉදිරිපත් වූ අභියාචනා අතරින් 1152 අභියාචනාවලට අදාළ පරීක්‍ෂාකිරීම්, නිරීක්‍ෂණ හා ඉදිරි පියවර එම වාර්තාවේ ඇතුලත්. දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳ සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේය.

    දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම කමිටුවේ වගකීම බව අග්‍රාමාත්‍යවරයා එහි සාමාජිකයන්ට ප්‍රකාශ කළේය.

    ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩලය දැනුවත් කර විෂයබාර අමාත්‍යවරුන් මගින් වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා කමිටුවේ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

    කමිටුවේ මේ දක්වා අභියාචනා 1152ක් පරීක්‍ෂා කර නිරීක්‍ෂණ ගොනු 484ක් විවිධ ආයතනවලට යොමු කර තිබේ. විමර්ශන සඳහා කමිටුව කැඳවා ඇති අභියාචනා සංඛ්‍යාව 372ක්.

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් මාස 3ක කාලයක් කමිටුවේ කටයුතු ඇනහිට තිබුණද මේ දක්වා අඛණ්ඩව සිදුවන විමර්ශනවලට අදාළව ආයතන ප්‍රධානීන් 34 දෙනෙකු කමිටුවට කැඳවා ඇති බව දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය. කමිටුවේ සභාපතිවරයා ලෙස මීට පෙර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර, එහි සෙසු සාමාජිකයන් වන්නේ, ආරියරත්න අර්මප්පෙරුම, මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන්.

    Latest News