ආයුධ සමඟ බද්දේගම ප්‍රා. සභා හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

සැප් 07, 2020

    ටී-56 ගිනි අවියක් හා තියුණු ආයුධ සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අද අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. විශේෂ කාර්ය බලකායේ මූලස්ථානයට ලද තොරතුරක් අනුව, බද්දේගම, ගනේගම, සිරිල් ඒකනායක මාවතේ පිහිටි නිවසක් පරීක්‍ෂා කෙරිණ. එහිදී මෙම ආයුධ හමුවිය. ටී-56 ගිනි අවියක් සමඟ ඊට යොදන මැගසීනයක්, වායු රයිෆලයක්, එම උණ්ඩ 50ක්, බයිනෙත්තුවක්, පිස්තෝල රැඳවුම් කවර 5ක්, උල් පිහි 4ක්, කඩුවක් හා ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ඊට අයත්. ඉදිරි විමර්ශන සඳහා සැකකරු, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

    බලපත්‍ර රහිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 5ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්විය. ඒ ඌරගස්මන්හන්දිය යටගල කන්ද ප්‍රදේශයේදී.

    හෙරොයින් ග්‍රෑම් 63කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බොරලැස්ගමුවේ දී ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඔවුන් විදේශගතව සැගවී සිටින “බඩෝවිට අසංක“ නමැති අපරාධකරුගේ සහයකයින් බව පැවසේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක් ද බොරලැස්ගමුව, අබේරත්න මාවත අසලදී අත්අඩංගුවට ගැණින.

    ගංජා අලෙවියේ නිරත වූ කාන්තාවක් වවුනියාව ඕමන්තේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා කිලෝ දෙකක් සමඟ ඒවා ප්‍රවාහනය කළ යතුරු පැදිය ද සිය බාරයට ගත් බව ඕමන්තේ පොලිසිය පවසයි.

    Latest News