ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව අගමැති පවසයි (වීඩියෝ)

සැප් 08, 2020
  • ශ්‍රී ලංකාව, ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. 

    ඔහු මේ බව කියා සිටියේ, එච්.සී.එල්. ටෙක්නොලජිස් හි පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය මෙරට ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

    ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්‍ෂණ සමාගම වන්නේ, එච්.සී.එල් ආයතනයයි.

    ජාතියක් වශයෙන් එච්.සී.එල් වැනි බහුජාතික තාක්‍ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම මහත් ගෞරවයක් බවද, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    “ඔබ දන්නා පරිදි නව රජය දැනුම හා තාක්‍ෂණය පදනම් කරගත් සමාජයක් ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයට ප්‍රමුඛතාව දී තිබේ.

    අපගේ දැක්ම, ශ්‍රී ලංකාව තාක්‍ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමයි. 

    ඒ අනුව, පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්‍ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටී. 

    එවැනි පසුබිමක අද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ වීම විශාල වැදගත්කමක් දරයි. 

    එච්.සී.එල් ටෙක්නොලජිස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රමුඛයෙකු ශ්‍රී ලංකාවට සම්පතක්, ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාරයට පැමිණ ඇති බව මුළු ලෝකයටම එය ප්‍රබල පණිවුඩයක්, යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 08 සැප්තැම්බර් 2020 20:17

    Latest News