කොරෝනා මරණ ගැන ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් දමයි

සැප් 09, 2020

    කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින් ආදාහනය කළ යුතු බව දන්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමයි.

    කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම නොවැම්බර් මස 26 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් සිව්දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබුණා.

    එම පෙත්සම් අද සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු මේ වන විට වෙනස් වීම්වලට භාජනය වී ඇති නිසා ඊට අදාළ නව නිලධාරීන් නම් කර පෙත්සම් සංශෝධනය කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 26 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා.

    පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ කොරෝනා වසංගතය හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් අප්‍රේල් මස එකොළොස් වන දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

    මෙසේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම මුස්ලිම් ජාතිකයින්ගේ සංස්කෘතික පැවතුම්වලට පටහැනි ක්‍රියාවක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් කොරෝනා වසංගතයෙන් මිය යන පුද්ගලයින් භූමදානය කිරීම තුළින් එම වෛරසය ව්‍යාප්ත වන බවට විද්‍යාත්මකව මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවද පෙන්වා දෙනවා.

    මේ හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

    Latest News