ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කළ මවුලවිවරයාට නීතිමය පියවර

සැප් 10, 2020

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ සාක්ෂිදුන් අවස්ථාවේදී එය රහසිගතව පටිගතකළ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම් මව්ලවිවරයාට සහ ඔහුට සහාය දුන් නීතීඥවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කෙරුණා.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම අද රැස්වූ අවස්ථාවේදී ඒම කොමිසමේ සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට මීට අදාළ නියෝගය ලබාදුන්නා.

    ඒ අනුව අදාළ මව්ලවිවරයාට සහ නීතීඥවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා ලෙසයි සභාපතිවරයා නියෝග කර සිටියේ.

    අදාළ නීතීඥවරයා සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විනය කමිටුවට දන්වන ලෙස ද සභාපති විනිසුරුවරයා නියෝග කළා.

    එමෙන්ම සභාපති විනිසුරුවරයා අද දිනයේ කොමිසම හමුවේ රැදී සිටි නීතීඥවරුන්ට ද අවවාද කරමින් කියා සිටියේ තම අනාගතය පිළිබඳ සිතාබලා සෑමවිටම නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසයි.

    Latest News