ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී. රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව විමසා සිටියේ, අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර අප්‍රේල් 9 වැනිදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ජාවට බදුන් කළේ ද යන්නයි.
ඊට පිළිතුරු දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා එම තොරතුර සාකච්ජාවට ගැනීමේ වගකීම, තිබේ නිලන්තට. මොකද ඒක නිලන්තට ලැබී තිබුණ තොරතුරක්. පසුගිය වසරේ අප්‍රේල් 8 වැනිදා කියන්නේ, මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට විශේෂ දවසක්. මොකද, ඒ වෙදිදී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා, මෙරටට පැමිණ තිබුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ හැමෝම කාර්ය බහුල වෙලයි හිටියේ. එවැනි අවස්ථාවක තමයි, ජාතික බුද්ධි ප්‍රධානියා එදින සවස මාව හම්බවෙන්න ඇවිත් මේ තොරතුර ගැන කිව්වේ. මම ඒ තොරතුර හොඳින් බලලා, මේක ඉතා වැදගත් හෙට රැස්වීමේදී නිලන්තට මේක සාකච්ජාවට ගන්න කියන්න. යනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානියාට උපදෙස් දුන්නේය.
ඊළඟ දවසේ රැස්වීමේ නිලන්තගේ අවස්ථාවේදී සහරාන් අන්තවාදී දේශන පවත්වනවා. අන්තවාදීන් ප්‍රචණ්ඩත්වයට යමින් සිටිනවා කියලත් කිව්වා. හැබැයි ත්‍රස්තවාදියෙක් කියලා කිව්වේ නැහැ. ඒ වගේමයි, නිලන්තගේ අවස්ථාවේදී, නිලන්ත 4 වැනිදා ලැබී තිබුණ තොරතුර ගැන කිසිදු සඳහනක් කළේ නැහැ.
රැස්වීම අවසන් භාගය වෙන කොට සිසිර මෙන්ඩිස් මහතා මට එයාගේ අතේ තිබ්බ 4 වැනිදා ලැබී තිබුණු තොරතුරු පෙන්නුවා. එතකොට මම නිලන්තගෙන් ඇහුවා, නිලන්ත අර තොරතුර මොකද කලේ, කියලා. සර්, මම පොලිස්පතිට කියලා තියෙන්නේ. තවත් වාර්තාවක් සකස් කරමින් සිටින්නේ. සම්පූර්ණ කරලා එවන්නම්. කියලා නිලන්ත මට උත්තර දුන්නා. ඉතිං මම එකෙන් සෑහීමකට පත්වුණා. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළේය.
2019 මාර්තු මාසය වෙද්දි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා, මට කිහිප වරක්ම කියලා තිබ්බා, රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු බෙදා ගන්නේ නැහැ. අපිව බයිපාස් කරලා, ඔක්කොම කරන්නේ කියලා. මම ඔහුට කියලා තිබ්බා, ජනාධිපතිත් එක්ක කතා කරලා, පිළිතුරක් දෙන්නම් කියලා. ඒ අනුව ඔබ ප්රශ්නය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළේ දැයි මෙහිදී ජනාධිපති කොමිසම විමසුවා.
නැහැ, මට ජනාධිපති සමඟ කතා කරන්න අවස්ථාවක් හම්බුණේ නැහැ. බාහිර පාර්ශව මාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් නිර්මාණය කරලා තිබ්බේ. ඒ හින්දා ජනාධිපතිවරයා මාත් සමඟ කතා කරන්න කැමති වුණේ නැහැ. මම ආරක්ෂක ලේකම්වරයා ලෙස සහභාගි වුණු පළමු ජාතික ආරක්ෂක කවුන්සිලයට පමණයි. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි වුණේ. ඊට පස්සේ, රැස්වීම්වලට පූජිත් ජයසුන්දර මහතා ගෙන්වන්න එපා යැයි ජනාධිපතිවරයා මට උපදෙස් දීලා තිබ්බා.
2018 ඔක්තෝබර් මාසයේ ඇතිවුණු ව්‍යවස්ථාදායකයේ ආරවුලෙන් පස්සේ, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන දෙදෙනාටම ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා කැඳවීම් කළේ නැහැ. ඔක්තෝබර්වල ඇතිවුණු ආණ්ඩු පෙරළියෙන් පස්සේ, මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඇහුවා, සර්, අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්න ද කියලා.
නැහැ ඕන නැහැ. පස්සේ කියමු. යනුවෙන් ජනාධිපතිවරයා මට පිළිතුරු ලබාදුන්නේය. කොහොම වුනත්, දින 52 ආණ්ඩුව පැවති කාල වකවානුව තුළ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක ආරක්ෂක කවුන්සලයට සහභාගි වෙන්න කියලා ආරාධනා කළේ නැහැ.
මෙහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වූ කාලවකවානුව තුළ එහි නිත්‍ය සාමාජිකයන් නොවූ විශේෂ ආරාධනයක් ද නොලැබූ පුද්ගලයින් ඒ සඳහා සහභාගි වූණේ ද යන්නයි.
දවසක් අපි ආරක්ෂක කවුන්සලයට ගිහිල්ලා, ජනාධිපතිතුමා පැමිණෙනතුරු වාඩිවෙලා ඉද්දී, ජනාධිපතිතුමාගේ පිටුපසින් තවත් සිව් දෙනෙක් එනවා දැකලා පුදුම වුණා. එලෙස පැමිණියේ ජනාධිපතිතුමා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන්. ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සලයට සහභාගි වෙන්න කියලා ආරාධනා කර තිබුණේ නැහැ.
දින 52 ආණ්ඩුවෙන් පස්සේ, ආයෙමත් අග්‍රාමාත්‍ය තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණාම, මම ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් කිව්වා, සර් 2002 චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වුණාමත්, ආරක්ෂක කවුන්සලයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ආවා කියලා. නැහැ, නැහැ ඒකට ගෙන්නුවාට කමන් කැහැ. මම මේකට ගෙන්නන්නේ නැහැ. ඕනේ නැහැ. කියලා ජනාධිපතිතුමා මට කිව්වා. කොහොමටවත් ඒ වෙද්දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර තිබුණේ, නයි පොළොන් වෛරයක්. නිලධාරීන් හැටියට, අපි ඒකට මැදිවෙලයි හිටියේ, යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නේය.
මෙහිදී, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක කවුන්සිලයට නොගෙන්වීමට හේතු වුණ සිදුවීම කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා, යම් නිලධාරියෙක්, තමන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සහ කරනවා කියලා.
ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කිව්වා නිශාන්ත සිල්වාව ඉවත් කරන්න කියලා. ජනාධිපතිතුමා කිව්වොත් දෙයක් වෙන්නම ඕනෙ නිසා පොලිස්පතිවරයා නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කළා. එය සිදුවිය යුතු ක්‍රියාපටිපාටියට අනුව පොලිස් කොමිසමට දැනුම්දීලත් තිබුණා. දවස් තුනකට පස්සේ ජනාධිපතිවරයා මට කතා කළා, කාගෙන් අහල ද නිශාන්තව මාරු කළේ කියලා ඇහුවා. මම කිව්වා සර්මනේ කිව්වේ මාරු කරන්න කියලා. මම කිව්වේ නැහැ මාරු කරන්න කියලා. ඩස් ගාලා ෆොන් එක ඩෑෂ් කළා.
පස්සේ දින කිහිපයකින් මම ජනාධිපතිවරයා හම්බවෙන්න ගියා. ජනාධිපතිවරයා මට කිව්වා, බලන්නකෝ ලේකම්තුමා මෙයා කරලා තියෙන දේ. පොලිස් කොමිසමටත් ලියලානේ. සිකුරිටි කවුන්සිල් එක රෙෆරන්ස් දාලා. ආයි ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති ගෙන්නන්න එපා කියලා මට නියෝග කළා.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ඒ නියෝගය මම එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව දැනුවත් කළා. පොලිස්පති වෙනුවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාව ආරක්ෂක කවුන්සලයට ගෙන්නුවා. මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවදා හෝ “ඔබේ ඔලුව හොඳ නැද්ද“ යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා ඇත්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ “අපෝ ඕන තරම් අහලා තියෙනවා“ යනුවෙන්.