වික්‍රමසිංහ මහතා සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කිරීමට ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාව තීරණය කරයි (වීඩියෝ)

සැප් 19, 2020
  • දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාලව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම අද තීරණය කළේය.

    කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ල පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි. 

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් කළ පැමිණිලිවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, චම්පික රණවක, මලික් සමරවික්‍රම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක අද කොමිසම හමුවේ පෙනී සිටියේය. 

    පැමිණිලිවලට අදාළව වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන්නේය. 

    ඔහු සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හෝ පොලිසිය පැමිණිලි බාරගෙන මහේස්ත්‍රාත්වරයා හරහා කෙරෙන ක්‍රියාවලිය අසාර්ථක වීම නිසා සමාජයේ ඇතිවූ දුක්ගැනවිල්ල හේතුකොට ගෙන 2015.01.08 වැනිදා ආණ්ඩු පෙරළිය සිදුවූ බවයි. 

    එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම හිමිවුයේ දූෂණයට, වංචාවට එරෙහිව ක්‍රියාන්විතයක් ගොඩනැගීමට බැවින්, ජනවරමට ගරු කිරීම උදෙසා ජනතාවගේ දුක්ගැනවිලිවලට සාධාරණයක් ඉටු කිරීම සඳහා මෙම කමිටුව පිහිටවූ බව, කොමිසම හමුවේ සඳහන් කළේය. 

    එහිදී සභාපති විනිසුරුවරයා පවසා සිටියේ ඒ දුක්ගැනවිල්ල ද ළඟදී මැතිවරණයෙන් ලක්‍ෂ ගණනකින් පැරදුනේ. 

    එවිට චම්පික රණවක මහතා පවසා සිටියේ ස්වාමිණි අප එය හිස නමා පිළිගන්නා බවයි. 

    දූෂණ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටවනු ලැබීය. 

    කොමිසමේ සභාපති විනිසුරු, චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ආණ්ඩුවට පක්‍ෂක්ග්‍රාහී වූ අයගේ දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධි කමිටුව ක්‍රියාත්මක වූයේ ද යන්නයි. 

    අවම වශයෙන් බී වාර්තාවක් හෝ ඉදිරිපත් කර නැති බව, සභාපති විනිසුරුවරයා කියා සිටියේය. 

    අනුර ප්‍රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, සජිත් යන මහත්වරුන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වූ බව, චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 

    එහෙත් දූෂණ විරෝධි කමිටුව හරහා අදාළ විමර්ශන සිදු වූයේ නැහැ නේද යනුවෙන් සභාපති විනිසුරු ප්‍රශ්න කර සිටියේය. 

    ඒ පිළිබඳව හරියාකාරව තමා නොදන්නා බව ද චම්පික රණවක මහතා සඳහන් කළේය. 

    වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි අධි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා චම්පික රණවක මහතාගෙන් විමසා සිටියේ දූෂණ විරෝධි කමිටුව මගින් අරගෙන තියෙන ක්‍රමෝපාය වෙන්නේ තෝරාගත් කණ්ඩායමකට පසුගිය රජය සමයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳව විමර්ශනය කිරීමට ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම නේද යනුවෙන්.

    පාඨලි චම්පික රණවක මහතා කොමිසම හමුවේ පවසා සිටියේ හොරු නමැති විශේෂ කණ්ඩායමකට දඬුවම් දෙන්න තමයි, දූෂණ විරෝධි කමිටුව හදලා තියෙන්නේ. 

    එහිදී සභාපති විනිසුරුවයා පවසා සිටියේ ඒ කියන්නේ, තෝරාගත් වෙනම පිරිසකට වෙනම නීතියක් කරන්න ද මේ කමිටුව හදලා තියෙන්නේ, මෙය පැවතුණු නීතිමය රාමුවෙන් පිට ගිහිල්ලා වෙනත් යාන්ත්‍රණයක් කැබිනට් සංදේශයෙන් ස්ථාපනය කිරීමක් නේද?

    ඊට පිළිතුරු දෙමින් රණවක මහතා ප්‍රකාශ කලේ, නැත ස්වාමීනි පැවති යාන්ත්‍රණය තුළින්මයි, එය සිදු කළේ, යනුවෙනි. මේ අතර දූෂණ විරෝධි කමිටුවේ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ද අද කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

    යහපාලන රජය මගින් මහා පරිමාණ වංචනිකයන් නීතියට හසු කරගැනීමේදී මෝරු අල්ලන්න ගිහින් හාල්මැස්සන් ඇල්ලීම සිදුවී ඇති බව, පිළිගැනීමට සිදුවන බව, මංගල සමරවීර මහතා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

    ඒක හරි හැටි නොකළ නිසා තමයි, ජනතාව යළිත් වරක් අපිට දඬුවම් කර තිබෙන්නේ, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ අතර ඔහු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දූෂණ විරෝධි කමිටුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව කියා සිටියේය.

    නීතිඥවරයා ප්‍රකාශ කළේ, ඔබ දන්නෙත් නැහැ, හැබැයි මහජන මුදල් රුපියල් මිලියන 7.5ක් එම කමිටුවේ අයට ගෙවා තිබෙනවා. 

    අයථා ලෙස ගත් කැබිනට් තීරණයක් මත එම මුදල් නාස්ති වී තිබෙනවා. 

    දේශපාලන අරමුණක් කරා යන ගමනේ දී එතන තමයි, මුදල් අවභාවිත වෙලා තියෙන්නේ යනුවෙනි.

    එය මුදල් අවභාවිත කිරීමක් ලෙස තමන් සලකන්නේ නැති බව, ඊට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

    අවස්ථා කිහිපයකදී ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කළ ද රවුෆ් හකීම්, ආර්. සම්බන්ධන් සහ සරත් ෆොන්සේකා යන මහත්වරු කොමිස හමුවේ පෙනී සිටියේ නැහැ.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 20:24

    Latest News