2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් එකසිය පනස් තුන් දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබුණි.
එම තීරණයට එරෙහිව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අල්ලස් කොමිසම විසින්ම ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව තීන්දු කළේය.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු කටයුතුවලින් මුදාහරින ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කළා.