ඔහු මේ බව සදහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමු වරට සාක්ෂි ලබාදෙමින්.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම් සමග පළමුව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා අනතුරුව ඉන් ඉවත් වු වර්තමානයේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඊයේ පළමු වරට ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබුණා.
එහිදි සාක්ෂිදීම අරඹමින් සාක්ෂිකරු කියා සිටියේ තමාගේ නම රාසික් රෆික්ඩින් වන අතර රාසික් යනු දෙවියනට සමාන අර්ථයක් දෙන නමක් වන බැවින් එය සමග වහලා යන අර්ථය ඇති අබ්දුල් යන වචනය භාවිතයට ගනිමින් තමා අබ්දුල් රාසික් ලෙස හදුන්වන බවයි.
මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් මෙසේ ප්‍රශ්න කළා,
" සාක්ෂිකරු, ඔබ මේ කොමිසම ආරම්භ වීමට පෙර දිවයිනේ සියළුම තව්හිද් සංවිධාන වලට පණිවුඩයක් යැව්වද, මේ කොමිසම් වාර්තාවෙන් එම තවුහිද් සංවිධානවලට බලපෑමල් වෙන්න පුළුවන් ඒ නිසා සියළුම සංවිධාන එක මතයකට එමු කියලා. "
" ඔව් ස්වාමිනි යැව්වා. නමුත් ඒ වැරදි අදහසකින් නෙමේ කොමිසමට සහය වීමේ අදහසින්. " යැයි අබ්දුල් රාසික් සදහන් කළා.
" එකෙන් ඔබ අදහස් කළේ තව්හිද් මතවාදය නිවැරදි කියලා මතයක් ඇති කරන්න කියන එකදැයි " සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළා.
තවුහිද් මතවාදය කොහොමත් නිවැරදි ස්වාමිනි. තවුහිද් මතවාදය රටේ ස්වෛරී භාවයට බාදාවක් කියලා රටේ මතයක් යනවා. එය නිවැරදි කරන්නයි ඕනේ යැයි එහිදි සක්ෂිකරු පිළිතුරු දුන්නා.
එතකොට ඔය කියන පණිවුඩය පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදුකළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයටත් වලංගුදැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා යළිත් ප්‍රශ්නයක් යොමුකළා.
නැහැ. රජය විසින් තහනම් කළ අයට අදාළ නැහැ. ත්රස්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදියට කැමති අයටයි මේ පණිවුඩය යොමුකළේ යැයි අබ්දුල් රාසික් පැවසුවා.
2017 නොවැම්බර් 12 කාත්තන්කුඩිය හිස්බුල්ලා ශාලාවේ පැවති සම්මේලනය " බෞද්ධ ආගමට මුල්තැන දීම නවත්වලා, ශ්‍රී ලංකාව සර්ව ආගමික රටක් කරන්න ඕනේ කියලා " ප්‍රකාශයක් කළාදැයි සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
" නැහැ. ඔය කියන සම්මේලනය පැවැත්වුවේ කාත්තන්කුඩියේදි නෙමේ. කොළඹ වයිට් පාක්වලදි. එතනදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කතා කළා. නමුත් ඔය කිව්වා වගේ දෙයක් ගැන කිව්වේ නැහැ. අපි සංවිධානයක් විදිහට බෞද්ධ ආගමට මුල්තැන දෙන්න ඕනේ කියන තැන එදා ඉදලා ඉන්නවා යැයි අබ්දුල් රාසික් පිළිතුරු දුන්නා.
මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසුවේ ඔබ සංගීතයට කැමතිද යන්නයි.
එයට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් පැවසුවේ " මම පෞද්ගලිකව කැමති නමුත් ඉස්ලාම් ඉගැන්වීම්වලට අනුව එය පටහැනි. අපි ගායනය කරනවා. නමුත් සංගීතය සහ නැටුම් පිළිගන්නේ නැහැ. " යනුවෙන්.
එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පෙරළා විමසුවේ " ඒ කියන්නේ සින්දු කියනවා, සංගීතය නැතුව කියන එකද " යන්නයි.
ඔව්. අපි ගායනා කරනවා. නමුත් සංගීතය, නැටුම් අපි ප්‍රතික්ෂේප කරනවා. ගුවන් විදුලියක යන සංගීතය සහිත සින්දුවක් අහන එකත් ඉස්ලාම් ඉගැන්වීම්වලට පටහැනි යැයි සාක්ෂිකරු වැඩිදුරටත් පැහැදිලි කළා.
එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙලෙස ප්‍රශ්න කළා.
" හරි. දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගිය තියෙන්නේ සංගීතයත් එක්කනේ. ඒ කියන්නේ මෙරට ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ජාතික ගීයට ගරු කළ යුතු නැද්ද ? " යන්නයි.
" නැහැ. එහෙම නෙමෙයි ජාතික ගීයට ගරු කළ යුතුයි. රජය නීතියක් පනවනවානම් ඉස්ලාම් ඉගැන්වීම් ඒ නීතියට යටත්. ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉස්ලාම් භක්තිකයෙක් පළමුවෙන් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත වෙන්න ඕනේ. ඊළගට රටේ පවතින නීතියට අවනත වෙන්න ඕනේ. ඊටත් පසුව තමයි සිවිල් කාරණා වලදි ආගමික නීතිය අදාළ වෙන්නේ " යැයි අබ්දුල් රාසික් වැඩිදුරටත් කොමිසම හමුවේ පැහැදිලි කළා.