රංජන්ගේ අධිකරණයට අපහාස නඩුව කල්යයි

දෙසැ 16, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැහැ.

    මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

    එහෙත් ඊයේ දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන හේතුවෙන් අද දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දමා තිබෙනවා.

    ඒ අනුවයි රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කැඳවීම ද කල් දමා තිබෙන්නේ.

    මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි මෙහෙයවීම සහ වාචික දේශන ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් කර ඇති අතර නඩු විභාගයේ දී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය ඉකුත් නොවැම්බර් මස 06 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබුණා.

    එහෙත් එදින නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් නඩු විභාග සියල්ල කල් දමා තිබුණා.

    ඒ අනුව කල් දමනු ලැබූ එම පැමිණිල්ල අද දින යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

    පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා.

    2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.

    එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

    ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තිබෙනවා.

    Latest News