වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩසටහන්වලට ප්‍රමුඛතාව

දෙසැ 16, 2020

    අය-වැය යෝජනාවලට අනුව සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේදී වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මහජන නියෝජිතයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට අද උපදෙස් දුන්නේය.

    ඔහු ප්‍රකාශ කළේ, ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනයට ද ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වන බවයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ "ගම සමඟ පිළිසඳරක් තුළින්, වැඩ සමඟ යළි ගමට" ජාතික වැඩසටහනේ උතුරු මැද පළාත් කමිටු සාකච්ජාවට අද සහභාගි වෙමින්. අනුරාධපුර උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී සාකච්ජාව පැවැත්විණ. 2015 වසරට පෙර ආරම්භ කර ඇති පසුගිය පාලනයේ ක්‍රියාත්මක නොකෙරුණු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

    කෘෂි, වාරි සහ පානීය ජල යන කේෂ්ත්‍රවලට බලපාන ගැටලු පිළිබඳව ද සාකච්ජාවේදී අවධානය යොමු කෙරිණ. පොහොර බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය සාකච්ජාවට බඳුන් වූ තවත් කරුණක්. අවශ්‍ය තරම් පොහොර තොග රට තුළ පවතින බවත්, පසුගිය කාලයේ රටේ අවශ්‍යතාව වූ පොහොර මෙට්‍රික් ටොන් 35,000ක් පමණක් බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ගොවියාට අවශ්‍ය වේලාවට පොහොර නොලැබෙන්නේ නම් නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා පොහොර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර ඇති බැවින් නිසි වේලාවට පොහොර නොලැබෙන්නේ නම්, සෘජුවම ඇමතිවරයා අමතන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

    වගා සඳහා නිසි පරිදි ජලය බෙදාදීමේ අවශ්‍යතාව සාකච්ජාවට සහබාගි වූ ජනතා නියෝජිතයන් අවධාරණය කළේය. ඒළඹෙන ජනවාරි මාසයේ සිට විදෙස් සංචාරකයන් සඳහා ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවර ගැනෙන අතර, මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන 26 වැනිදා සිට සංචාරකයන් හාර දහසකට වැඩි පිරිසක් පැමිණෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ. උතුරු මැද පළාතට බලපාන පොදු ගැටලු සඳහා විසඳුම් යෝජනා කෙරුණු අතර, අනෙකුත් ගැටලු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනිමට නියමිතයි.

    ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් රැසක්ද සාකච්ජාවට ඒක්වූහ. මධ්‍යම පළාත් සාකච්ජාව මහනුවර දී හෙට පැවැත්විමට නියමිතයි.

    Last modified on බදාදා, 16 දෙසැම්බර් 2020 19:48

    Latest News