ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ සම්මානයට පාත්‍රවේ (වීඩියෝ)

දෙසැ 23, 2020
  • ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දුම්කොළ සහ මද්‍යසාර පිටුදැකීම සඳහා මෙතෙක් ඉටු කළ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් අද විශේෂ සම්මානයට පාත්‍ර විය.

    ඒ්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මාධ්‍ය ආයතන ඇගයීම සඳහා ප්‍රථම වරට සංවිධාන කළ සම්මාන උළෙලේදී. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ වෝටර්ඒ්ජ් හෝටල් පරිශ්‍රයේදී.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස මේ අවස්ථාවට සහභාගි වූවාය. දුම්කොළ සහ මද්‍යසාරවලින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා මාධ්‍ය ආයතන ඉටුකරන කාර්යභාරය තවත් වර්ධනය කිරීම සම්මාන උළෙල සංවිධාන කිරීමේ අරමුණයි.

    දුම්කොළ සහ මද්‍යසාර හේතුවෙන් වාර්ෂිකව ලොව අසූ ලක්ෂයකට අධික පිරිසක් මරණයට පත්වේ. ශ්‍රී ලංකාවේ පමණක් දිනකට මියයන සංඛ්‍යාව 110ක්. දුම්කොළ සහ මද්‍යසාර නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මෙරට පිරිස් දිනකට රුපියල් කෝටි 100කට අධික මුදලක් වැයකරන බව ගණන් බලා තිබේ.

    ඉන් කෝටි 37ක් දුම්කොළ නිෂ්පාදනවලට සහ සෙසු රුපියල් කෝටි 57 මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව හෙළි වී ඇත. මෙමගින් වාර්ෂිකව රුපියල් බිලියන 150කට අධික බදු ආදායමක් රජයට හිමිවන අතර, දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් රෝගී වන පිරිස් වෙත ප්‍රතිකාර කිරීම සඳහා ඒම මුදල මෙන් තෙගුණයක පිරිවැයක් දැරීමට රජයට සිදුව තිබේ.

    මෙය සෞඛ්‍ය මෙන්ම ආර්ථික වශයෙන් ද රටකට දැරිය නොහැකි තත්වයක්. දුම්කොළ හා මද්‍යසාරවලින් ජනතාව ගලවා ගැනීම සඳහා මාධ්‍ය ආයතන පසුගිය කාලයේ සිදුකළ වැඩසටහන් මෙම සම්මාන උළෙලේ දී විශේෂ ඇගයීමට ලක්විය.

    ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති සහ නුග සෙවණ වැනි වැඩසටහන් තුළින් මතින් නිදහස් රටක් බිහිකිරීම සඳහා ලැබුණු දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණ.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඒම සම්මානය ලබාගත්තේය. උත්සව සභාව අමතමින් නිහාල් ජයතිලක මහතා කියා සිටියේ ජාතික වගකීමක් ලෙස සලකමින් මතින් නිදහස් රටක් බිහිකිරීම සඳහා මාධ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වටිනා ගුවන් කාලය කිසිදු පැකිලීමකින් තොරව ලබාදෙන බවයි.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 23:06

    Latest News