රූපවාහිනී ඩිජිටල්කරණය මෙරටටත් කඩිනමින්

ජන 19, 2021

    ලොව පුරා වර්තමානයේ ප්‍රචලිත රූපවාහිනී ඩිජිටල්කරණය මෙරට කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ජපන් තානාපති කාර්යාලය අතර වි‍ශේෂ සාකච්ජාවක් අද (19) පැවැත්විණ.

    ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා අතර මෙම හමුව අද (19) සවස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙරට රූපවාහිනී නාලිකා ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම සඳහා ජපන් ශ්‍රී ලංකා විශේෂ සාකච්ජාවක් ලෙස මෙය පැවැත්විණ.

    2014 වසරේ දී ජපන් අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ සඳහා වන මූලික ගිවිසුම් වැඩපිළිවෙල සකස් කෙරිණ.

    එහෙත් එවක පැවති ආණ්ඩු පෙරළියත් සමගම මෙම වැඩපිළිවෙළ ඇනහිටි බව අමාත්‍ය රඹක්වැල්ල මහතා පවසයි.

    වර්තමානයේ ලොව පුරා ප්‍රචලිත රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය වන ඩිජිටල්කරණය ඉතා කඩිනමින් මෙරට ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණ වේ.

    ඒ අනූව මෙම වැඩපිළිවෙළෙහි 90%ක්ම මේ වන විට අවසන්ව ඇතැයි, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වසර 10කට පසු වසර 25ක් ගෙවී යන ලෙස 0.025%ක සහන පදනමක් යටතේ ඩොලර් මිලියන 162ක මුදලක් මේ සදහා ජපානයෙන් හිමිවීමට නියමිතැයි, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම තාක්ෂණය මෙරටට හඳුන්වා දීමත් සමග මෙරට රූපවාහිනී නාලිකාවන් එහි සුවිශාල පරිවර්තනීය වෙනසක් සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

    ඒ සඳහා ජපන් රජය සාධනීය ප්‍රතිචාර ලබා දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රුවල් සත්කුමාර ඇතුලු නිලධාරීන් මේ සඳහා සහභාගී විය.

    Latest News