ඇතමුන් කුමක් ප්‍රකාශ කළද මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි නොමඳ විශ්වාසයක් තබා ඇති බව මහා සංඝරත්නය සඳහන් කරති.
ඊයේ (12) පස්වරුවේ 08 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාවේ දී මේ බව සඳහන් කෙරිණ.
තාන්න, මාන්න නොලැබුණ අයගේ වෛරී අදහස්වලින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ආණ්ඩුව පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවිය යුතුය. ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික ධූර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිතුමාට කියා සිටියහ.
මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක් විය. එදා ඔවුන්ගේ ග්‍රහණයට හසු කරගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාවයි. වර්තමානයේ ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බව මහා සංඝරත්නය සඳහන් කළහ. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරියක් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිස් බලහත්කාරයෙන් මොවුන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්රයත්නයක් සිදුව ඇති බව පෙන්වා දෙනු ලැබිණ.
තානාපති සේවය ඇතුළු තනතුරුවලට පත්කීරිමේදී ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාදාමයට පැසසුම් කළ මහා සංඝරත්නය විශ්‍රාම යන අයට විවේක ගන්නා ස්ථානයක් බවට තානාපති සේවය පත් නොවිය යුතු බව පෙන්වා දුන්හ. මියන්මාරය, තායිලන්තය වැනි රටවලට පත් කෙරෙන තානාපතිවරු පන්සිල් රකින, දර්ශනයක් සහිත පුද්ගලයන් විය යුතු බව උන්වහන්සේ කියා සිටියහ.
බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථ කථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කළහ. ඒ සඳහා බෞද්ධ ග්රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත සක්‍රීය කළ යුතුය. ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනු ලැබිණ.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.