මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.
එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩුවේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවයි.
ඒ අනුව නඩු තීන්දුව ලබන 05 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල පැවසීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණ.
සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් සඳහන් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.
තමන්ට සිර දඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ.
එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.
අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.