අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් කළ තරුණයින් අත්අඩංගුවට

අප්‍රේ 13, 2021

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස රිය ධාවනය කළ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    එහි ගමන් කළ තවත් තරුණයින් හතර දෙනෙකුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඔවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

    අද (13) උදෑසන අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    අයුතු අවහිර කිරීම හා අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස හා අනතුරුදායක ලෙස ධාවනය වූ මෝටර් රථයක දර්ශන සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

    මේ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම වාහනයේ හිමිකරු හා එය ධාවනය කළ රියදුරු පිළිබද තොරතුරු හෙළි කර ගනු ලැබීය. ඒ අනුව රථයේ මුල් හිමිකරු ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් විය.

    මුල්හිමිකරුගෙන් මෝටර් රථය මිලදී ගත් අකුරන ප්‍රදේශයේ පුද්ගලයා හා මෝටර් රථය පැදවූ රියදුරා මෙන්ම එහි ගමන් කළ තරුණයින් සිව් දෙනාට පොලීසි හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබුණි. ඒ අනුව මුල් හිමිකරු රියදුරු හා වාහනය දෙවන වරට මිලදී ගත් පුද්ගලයාගේ පුත්‍රයා පොලීසිය වෙත ඉදිරිපත් විය.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෝටර් රථය නිසි පැවරීමකින් තොරව වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමට මුල් හිමිකරු කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විටත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

    Latest News