අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් රැසක් පීඩාවට

මැයි 15, 2021

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 2,750ක් පීඩාවට පත්ව සිටියි. පුද්ගලයින් 11,542 දෙනෙකු ඒ අතර වන බවයි,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325 ක පුද්ගලයින් 1,132ක්, කොළඹ පවුල් 270 ක පුද්ගලයින් 1,115 දෙනෙක්, ගම්පහ පවුල් 1,385ක පුද්ගලයින් 6,119 දෙනෙක්, මාතර පවුල් 663 ක 2,806 දෙනෙක් පීඩාවට පත්ව සිටින බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

    මීට අමතරව කළුතර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලද පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වයක් සමග අවතැන්වන පුද්ගලයින් සෞඛ්‍ය ආරක්ෂිතව රැකබලා ගැනීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවය.

    මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටව තිබේ. ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. දැදුරු ඔය ජලාශයේ පමණක් තප්පරයට ඝන අඩි 12,000ක් පමණ පහළට මුදා හරින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනූව, එම ජලාශය පහළ ජනතාව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    තවත් ප්‍රධාන ජලාශ 15ක් උපරිම ජල මට්ටම කරා ළඟා වෙමින් පවතින බවත්,එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.

    මේ අතර, කළුතර - නාගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නාය අවදානමට ලක්ව තිබේ. ගෝනදෙණිය-70 කන්ද, නාය යෑමෙන් උඩුගම-බද්දේගම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය. නාගොඩ ප්‍රාදේශීය සභාව එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට ක්‍රියා කළේය. කඳු පාමුල පැවති නිවාස කිහිපයකට ද දැඩි අලාභ හානි සිදුව තිබේ.

    පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රිය තෙක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරයි.

    Latest News