ඇමති ප්‍රසන්න රණතුංග ට එරෙහි නඩු විභාගය කල් යයි

ජූනි 09, 2021

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    ඒ, කොළඹ, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එය ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

    එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව සියලූ නඩු කල් දැමීමට තීරණය කර ඇති හෙයින් මෙම නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 30 මන්දා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.

    2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ බිරිඳගේ ඥාති සොහොයුරෙකු වූ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

    Latest News