අනියම්,දෛනික,කොන්ත්‍රාත් සේවකයින් 8000ක් ස්ථිර කිරීමට පියවර

ජූලි 06, 2021

    පළාත් පාලන ආයතනයන්හි සේවය කරනු ලබන අනියම් ,දෛනික හා කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථිර කිරීමට රජය කටයුතු කරන බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    දැනට පළාත් පාලන ආයතනවල අනියම්,දෛනික හා කොන්ත්‍රාත් පදනමින් 8000ක් පමණ දෙනා සේවය කරන අතර අග්‍රාමාත්‍යතුමා සමග පැවතී සාකච්ඡාවකදී මේ පිරිස කඩිනමින් ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යතුමා තමන්ට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශකරයි.

    ජනතාවාදී රජයක් ලෙස කුමන අභියෝග පැවතියද ජනතාවාදී තීරණ ගැනීමට තම රජය පසුබට නොවන බව සඳහන් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කඩිනම් ස්ථිර කිරීම් සඳහා වන යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා විසින් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.  

    මෙලෙස ස්ථිර කිරීමට නියමිත 8000 ක් පමණ වන පිරිස ඒ ඒ පළාත් පාලන ආයතන විසින් නිර්දේශ කරන ලද සේවකයින් වේ.

    මෙයින් බොහොමයක් සෞඛ්‍ය හා මාර්ග ක්ෂේත්‍රයන්හි වසර ගණනාවක් අනියම්,දෛනික හා  කොන්ත්‍රාත් පදනමින් සේවය කරන්නන් බවද පවසන අමාත්‍යවරයා මෙවන් වසංගත තත්ත්වයකට රටක් ලෙස මුහුණ දී තිබෙන මොහොතකදී පවා මෙවන් පියවරක් ගැනීමට හැකිවිම සතුටට කරුණක් බවද පැවසීය.

    වර්තමාන රජය බලයට ගෙන ඒමට විශාල ශක්තියක් සැපයූ මේ රටේ ජනතාව වෙනුවෙන් කළ යුත්ත කිරීමට තම රජය කිසි විට මැළි නොවන බව පවසන ජනක බණ්ඩාර අමාත්‍යවරයා තම රජයන් යටතේ සැමදාම රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයතු කලබවද පැවසීය.

    Latest News