විග්නේෂ්වරන්ගේ විරෝධතාව ඉවතට: අධිකරණ අපහාසය විභාගයට

පෙබ 13, 2019

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් මතුකළ මූලික විරෝධතා අද අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත.

    ඒ අනුව විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියට විභාගයට ගැනේනු ඇති. එය විභාගයට ගන්නා දිනය ලබන සිකුරාදා (15) තීරණය කරන බව විනිසුරු මඩුල්ල කියා සිටියේය.

    උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී. ඩෙනිෂ්වරන් මහතා විසින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබේ.

    බී. ඩෙනීෂ්වරන් මහතාව උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කිරිමට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් විසින් ගොනුකර තිබිණ. ඔහුට උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස අභියාචනාධිකරණය අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කළේය.

    අභියාචනාධිකරණ නියෝගය විග්නේෂ්වරන් කඩ කිරිමෙන් අධිකරණයට අපහසයක් කර ඇති බවට චෝදනා කර බී. ඩැනිෂ්වරන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    එම පැමිණිල්ල විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පවසමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනෙකු මූලික විරෝධතා මතු කර තිබිණ.

    විග්නේශ්වරන් ඇතුළු තිදෙනාගේ මූලික විරෝධතා අද ප්‍රතික්ෂේප කර පැමිණිල්ල යළි විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 13:38

    Latest News