රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ගේ සහ මාමණ්ඩියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

අගෝ 30, 2021

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මොහොමඩ් සියාබ්දීන් යන අය විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

    මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ සලකා බැලුනා.

    මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාවගේ දරුවන් දෙදෙනා මේ වන විට ඇයගේ මව භාරයේ සිටින බවත් ඇයගේ මව මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව දන්වා සිටියා.

    මෙම සැකකරුවන් කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන නොමැති හෙයින් මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් ඇප මත මුදාහරින්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකාර රිෂාද් බදියුදීන් මහතාගේ බිරිඳගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු නියෝගයක් ප්‍රකාශ කරන්නැයි දන්වා සිටියා.

    එහෙත් ඇයගේ පියාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේ

    එම සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාගේ මෙම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා.

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ ජූඩ් කුමාර් ඉශාලිනි නමැති 16 හැවිරිදි දැරියක් පිලිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ එම දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු යන අය ලබන 6 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබුණා.

    Latest News