ගායක අමල් සහ නීතිඥ උදුල් අතර ප්‍රථම හමුව

පෙබ 15, 2019

    ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ගායක අමල් පෙරේරා හමුවීමට තමන්ට අද අවස්ථාව ලැබුණු බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.

    ඔහු ජාතික රූපවාහිනියට කියා සිටියේ, ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් සාකච්ජා කළ බවයි. මාකඳුරේ මධූෂ් සහ ගායක අමල් පෙරේරා ඇතුලු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 04 වැනිදායි. මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ මෙම පිරිස සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් කර තිබුණ ද මෙතෙක් ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කර නැහැ. නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා, ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සමඟ අද උදෑසන බොහෝ වේලාවක් සාකච්ජා කර තිබේ.

    උඳුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ, අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, එරට නීතිඥවරුන් සමඟ සාකච්ජා කරන බවයි. මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටින 31 දෙනා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන අප විමසා සිටියා. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ, අබුඩාබියේ මෙරට තානාපති කාර්යාලය සහ ඩුබායිහි කොන්සල් කාර්යාලය මගින් එරට බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවයි.

    මේ අතර, මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට ඊයේ රාත්‍රී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබේ. ඒ කොටහේන මැල්වත්ත මෛත්‍රී බෝධිරාජ මාවතේ පිහිටි නිවසේ සිටි අවස්ථාවේදී.

    වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 හැවිරිදි ආශාපාරි නොහොත් කුඩු චූටි ලෙස අන්වර්ත නාමයෙන් හඳුන්වන ඇය පොලිස් ආරක්‍ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිසිය පවසන්නේ මෙම කාන්තාව හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොටහේන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    Last modified on සිකුරාදා, 15 පෙබරවාරි 2019 20:05

    Latest News