ඉදිරි මාස හය සඳහා නව ආර්ථික සැලැස්මක්....

ඔක් 01, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිදුවූ හානිය අවම කිරීමට රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    ඔවුන්, මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය සඳහා වන හිඟ පොලිය පියවීමට එම මුදල යෙදවෙනු ඇත. මේ අතර, වාරික ගෙවා දැමීමට නොහැකි වූ වාහන නැවත පවරා ගැනීමත්, දේපල වෙන්දේසි කිරීමත්, ඉදිරි මාස හයක කාලය තුළ සිදු නොකරන ලෙස මහ බැංකුව සියලු මූල්‍ය ආයතනවලට දැනුම් දී තිබේ. ඉදිරි මාස 6 සඳහා නව ආර්ථික සැලැස්මක් අද එළිදක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අදහස් පළ කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ රටේ ආර්ථිකය ක්‍රමවත් හා විධිමත් අයුරින් පවත්වාගෙන යාම නව ආර්ථික වැඩපිළිවෙළේ අරමුණයි. එය එළිදැක්වීමේ අවස්ථාවට තානාපතිවරුන්, මූල්‍ය ආයතන ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් සහ ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් එක්ව සිටියහ.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ, වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශ්වවල සහාය අවශ්‍ය බවයි. මින් පෙර අත්‍යවශ්‍ය සහ හදිසි නොවන ආනයන භාණ්ඩ 600කට අධික සංඛ්‍යාවක් සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද මහ බැංකුව තීරණය කර තිබේ.

    Latest News