සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද ඇරැඹේ

ඔක් 21, 2021

    පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන සිසුන් 200ට අඩු පාසල් 3,800ක් අද (21) විවෘත කෙරේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ පාසල් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අදියර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහි පළමු අදියර යටතේ මේ පාසල් ආරම්භ කෙරේ.

    අද දිනයේ පාසලට පැමිණෙන දරුවන්, ගුරුවරුන් එනතෙක් බලා සිටින බැවින් පාසල්වල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යෑමට අවශ්‍ය සහාය දී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් වෙත පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දිනමිණට ඊයේ (20) පැවසීය.

    පාසල් විවෘත කිරීමේදී සිසුන් 200ට වැඩි පාසල්වල 1 - 5 ශ්‍රේණි සහ සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි දෙවැනි අදියරේදීත්, 10,11,12,13 ශ්‍රේණි තුන්වැනි අදියරේදීත්, සෙසු සියලු ශ්‍රේණි සිව්වැනි අදියරේදීත් විවෘත කිරීමට තීරණය කර ඇති බවද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහ් කරයි. සියලු ශ්‍රේණි විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ කර ඇති පරිදි එක පන්තියක සිසුන් සංඛ්‍යාව 20ට අඩු නම් සතියේ සෑම දිනයකම ගෙන්විය යුතු බවත්, සිසුන් 20-40 දක්වා පවතින පන්ති දෙකට බෙදා දවසක් හැර දවසක් ගෙන්විය යුතු බවත්, සිසුන් 40ට වැඩි නම් සිසුන් සංඛ්‍යාව තුනකට බෙදා ගෙන්විය යුතු බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. තවද පළමු අදියර යටතේ පාසල් විවෘත කිරීමේදී ලැබෙන ප්‍රගතිය මත සෙසු අදියරයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද දින පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ. මේ අතර වැටුප් විසමතා ඉවත් කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ තමන් අද (21) සහ හෙට (22) පාසල්වල සේවයට වාර්තා නොකිරීමටත්, ලබන සඳුදා (25) සේවයට වාර්තා කිරීමටත් ඒ අතරතුර වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමටත් තිරීණය කර ඇති බවයි.

    Latest News