"පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්විමි.
තම දිවිය වසර 85ක් වැනි කලක දී අවසන් කරන අපේ නායක හාමුදුරුවෝ, ඉන් වසර 67ක් ම වෙන්කළේ සම්බුදු සසුනේ සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ යෙදීම සඳහාම ය. සාහිත්‍ය චක්‍රවර්ති ගෞරවාර්හ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්රඥාසාර වැනි සම්බුදු සසුන එළිය කළ නායක ස්වාමීන්වහන්සේලාගේ ඇසුර හා මාර්ගෝපදේශකත්වය නිරන්තරයෙන් ලැබීමට අපේ නායක හාමුදුරුවෝ වාසනාවන්ත වූහ.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමි කරගත් නායක ස්වාමීන් වහන්සේ, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍රීයව ධර්ම ශාස්ත්‍ර සේවාව ආරම්භ කළහ. විටින් විට රටේ ඇති වන විවිධ ගැටලුවල දී සුවිශාල නායකත්වයක් ගෙන කටයුතු කළ නායක ස්වාමීන්වහන්සේ ඉටුකළ සේවාව වචනයෙන් විස්තර කළ නොහැකිය.
විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව පෞද්ගලික ජීවිතයේ දී ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළේ දැඩි මිත්රත්වයකිනි. මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවන්හී දි අත්නොහැර කටයුතු කළ නායක ස්වාමින් වහන්සේ, මාහට මහත් ශක්තියක් වු අතර, එහි දී ලබා දුන් අවවාද අනුශාසනා හා ආදර්ශ බොහෝ ය.
උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි කල්‍යාණ මිත්‍ර ථෙරනමක් වූහ. අප හමුවූ විට නිතර මා සමඟ සාකච්ඡා කළේ රට දැය මෙන් ම සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට ය. විද්‍යාලංකාර සම්ප්රදාය ආරක්ෂා කරන අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මහත්සේ ඇලුම්කළ නායක ස්වාමීන් වහන්සේ උගත් සිල්වත් ශිෂ්‍ය භික්ෂු පරපුරක් සසුනට දායද කිරීමට වෙහෙස වී ක්‍රියා කළහ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම් පාසල් දූ දරුවන් දැයට හිතැති ගුණවත්, නැණවත් දරු පිරිසක් බවට පත්කිරීම සඳහා උන්වහන්සේ මහත් වෙහෙසක් දැරූහ. මල්වතු මහා විහාරය මඟින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය හා උපාධ්‍යාය ධූරය උන්වහන්සේට පිරිනැමුවේ නායක ස්වාමීන් වහන්සේ ඉටු කරන උදාර ජාතික හා ශාසනික සේවාව නිසාම ය.
විදේශ රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය සඳහා කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේට විදේශීය භික්ෂූන් වහන්සේලාට මෙන් ම ජනතාවට ඉටුකරන මෙහෙය නිසා ම බුරුම රජය මඟින් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ යන ගෞරව නාම සම්මුතිය ද පිරිනැමුවේය. ‘වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ’ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය අප්‍රමාදව ගුණදම් වඩන්න මෙම ලොව්තුරු බුදුවදන මැනවින් වටහාගත් නායක ස්වාමීන් වහන්සේ සැම විට ම ගුණදම් වැඩු අතර, සෑම මසකම ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කිරීමට අමතක කළේ නැත.
ත්‍රෛනිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ සමඟ නිරන්තර ලෙන්ගතු කමින් කටයුතු කළ එහිමියෝ, සැම විට ම සිනාමුසුව සිටි ආදර්ශ සම්පන්න ගුණගරුක මහ ථෙරනමක් වූහ. නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝ වන අතර උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිඩැස කිසිදා පිරිමැසිය නොහැකිය. පුරා වසර 85 ක් ආයු වළඳා අපවත් වී වදාළ ගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමි. එසේ ම උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විද්‍යාලංකාර පිරිවෙන් දායක සභාවටත්, ඥාතීන් ඇතුලු සැමටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි."