මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.
අනතුරුව සැකකරු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර ඒවායේ තක්සේරු වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ රන්භාණ්ඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.
නීති විරෝධී ලෙස රුපියල් කෝටි ගණනක් වටිනා මුදල් හා වත්කම් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
දෙමටගොඩ රුවන් නැමැති මෙම සැකකරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නැමැත්තා ගේ සොහොයුරෙකු වූ බව ද හෙළිවී තිබේ.