දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

ජන 04, 2022

    නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාවලින් රුපියල් කෝටි ගණනක මුදල් හා දේපළ උපයා ගත්බව කියන පාතාල කල්ලි නායක දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික.සී.රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    මෙම සිද්ධියට අදාළ කාන්තාවක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සදහන් කළ පොලීසිය එම කාන්තාවගේ නමින් රුපියල් මිලියන 30ක් පමණ වටිනා සුපිරි නිවසක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද සඳහන් කළේය.

    එම කාන්තාව මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඇය සොයා විමර්ශනයක් සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

    සැකකාර දෙමටගොඩ රුවන් නැමැත්තා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන "දෙමටගොඩ චමින්ද" නමැත්තාගේ සොහොයුරෙකු බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

    Latest News